මැතිවරණ කාර්යාලවලත් අපේක්ෂක කටවුට් තහනම්


(*** සුජිත් හේවාජුලිගේ)

මැතිවරණ කාර්යාලවල අපේක්ෂකයන්ගේ කටවුට් ප්‍රදර්ශනය කිරීමට මෙවර ඉඩ නොදෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට හා නියෝජිතයන්ට ඊයේ (17) දැනුම් දී ඇත.

මැතිවරණ කාර්යාලයක කටවුට් ප්‍රදර්ශනය කළ හැක්කේ රැස්වීම් පැවැත්වෙන අවස්ථාවලදී පමණකැයිද සභාපතිවරයා පවසා ඇත.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ දැනුම් දීම කර ඇත්තේ මැතිවරණයට තරග වදින දේශපාලන පක්ෂවල ලේකම්වරුන් හා නියෝජිතයන් සමග මැතිවරණ කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (17) පැවැති සාකචඡාවකදීය.

මේ තීරණයට දේශපාලන පක්ෂ නියෝජිතයන් බොහෝ දෙනකු එහිදී දැඩි විරුද්ධත්වය පළ කර ඇතැයිද දැනගන්නට ඇත.

මැතිවරණ නීතිය අනුව එවැනි කටයුතුවලට ඉඩ දිය නොහැකි යැයිද මහින්ද දේශප්‍රිය මහතා ඒ අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත.

මේ සාකච්ඡාවට සෞඛ්‍ය අංශ ප්‍රධානීන් කිහිප දෙනකුද සහභාගිවී සිටි අතර මැතිවරණ කටයුතුවලදි අනුගමනය කළ යුතු සෞඛ්‍යමය ක්‍රමවේද පිළිබඳව ඔවුන් දේශපාලන පක්ෂ නියෝජිතයන් දැනුම්වත් කර ඇතැයිද දැන ගන්නට ඇත.

මේ අතර මැතිවරණ කාර්යාලවල සෞඛ්‍ය ක්‍රමවේදවලට යටත්ව ප්‍රචාරක රැස්වීම් පැවැත්වීමට ඉඩ ලබාදෙන බව මැතිවරණ කොමිසම පවසයි.