මැණිකක් හොරාට විකුණන්න ගිය සජබ ප්‍රා.මන්ත්‍රී මාට්ටු


(රංජිත් රාජපක්ෂ)

රු.කෝටි 50ක වටිනා බව පවසා බලපත්‍රයක් නොමැතිව මැණික් ගලක් අලෙවි කිරිමට පැමිණි කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරයකු ඇතුලු තිදෙනකු නුවරඑලිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

එම මැණික් ගල මිලදී ගන්නා අයට වාසනාව උදාවන බව පවසමින් සැකකරුවන් තිදෙනා මෙම මැණික් ගල විකීණිමට සූදානම් වී ඇතැයි පොලිස කියයි.

නුවරඑලිය ලබුකැලේ ප්‍රදේශයට පැමිණ නවාතැන්පොළක රැදී සිටින බවට නුවරඑලිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින්ට ලද තොරතුරක් මත උපාය දුතයකු යොදා ගනිමින් මැණික් ගල මිලදි ගැනීමට සැකකරුවන් හා ගණුදෙනු කතා කිරිමේදි රු.කෝටි 50කට අලෙවි කරන බව පැවසූ මැණික් ගල කේවල් කිරිම හමුවේ රුපියල් ලක්ෂ 10ක මුදලකට ලබා දීමට සැකකරුවන් එකග වී ඇත.

මඩවල සහ වත්තේගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40-50 වන වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරුවන් සන්තකයේ තිබි පොලිස් භාරයට ගත් මැණික් ගල ව්‍යාජ එකක්ද නැතිනම් හොද වර්ගයේ මැණික් ගලක්ද යන බව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙන් වාර්ථාවක් ලබා ගැනීමටද නුවරඑලිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් පියවර ගෙන ඇත.

මැණික් ගල් විකිණීම සදහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙන් නිසි අවසර පත්‍රයක් ලබා ගත යුතු අතර, සැකකරුවන් සතුව නොතිබූ නිසා සැකකරුවන් තිදෙනා නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කරන බවයි නුවරඑලිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් කියා සිටියේය.