(නිමන්ති රණසිංහ)
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ සංවිධානයේ රැඳවියන් නිරීක්ෂණය කිරීම සදහා මානව හිමිකම් ක්‍රීයාකාරී කණ්ඩායමක් අද (16) අනුරාධපුර බන්ධනාගාරයට ගොස් ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
සිරකරු දිනය පැවැති ඉකුත් 12 වැනිදා හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටි එල් ටී ටී ඊ සිරකරුවන් වෙත සිදුකළැයි කියන අයුතු බලපෑම සම්බන්ධයෙන් නිරීක්ෂණය සදහා මෙම මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිස පැමිණී බව ද ඔහු සදහන් කළේය.
අධිකරණ අමාත්‍යාංශයේ අනුමැතිය මත මෙම පිරිස සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව බන්ධනාගාරයට පැමිණ අදාළ සැකකරුවන් මුණ ගැසී ඔවුන් හා සාකච්ඡා කර ඇති බව ද හෙතෙම පැවසීය.
එසේම, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ද එම අවස්ථාවේදී බන්ධනාගාරයට පැමිණ එම රැදවියන් මුණ ගැසී ඔවුන් සමග කතා සාකච්ඡා කර ඇතැයි ද සදහන් වෙයි.
මෙම සිද්ධියට අදාළව පුළුල් පරීක්ෂණයක් සිදුකිරිම සදහා බන්ධනාගාර කෙමසාරිස් ජනරාල්වරයා විසින් කොමසාරිස් (සැපයුම්) සුනිල් කොඩිතුවක්කු මහතා පත්කරනු ලැබ තිබේ.
ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරින්ගෙන් සහ සිරකරුවන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද පැවසෙයි.

