(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සිය මවගේ හත්දින දාන පිංකමට සහභාගිවීමට යමින් සිටියදී පසුගිය 16 වැනිදා දහවල් මාඔයේ මදුරුපිටිය සපත්තු පාලමේදී සැඩ පහරට අසුව ගසාගෙන ගිය රියදුරු උපදේශකවරයාගේ දේහය දින හතරකට පසු ගිරිඋල්ල පාලම ආසන්නයේ උණ පදුරක් රැදී තිබියදී හමුවූ බව මීරිගම පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ලෝලුවාගොඩ ප්‍රදේශයේ රියදුරු පාසලක අධිපතිවරයා වූ අඹේපුස්ස මොට්ටෑවවත්තේ විසූ ඒ. අමරසිංහ 60 නැමති තිදරු පියකි. සොයා ගැනුනු මළ සිරු බෙහෙවින් නරක්වී ඇති බවද එහි කොටස් සතුන් විසින් කා දමා ඇති බවද පොලිසිය කියයි.
රියදුරු උපදේශකවරයා මෙම අනතුරට පත්ව ඇත්තේ සපත්තු පාලමේ අඩියක් පමණ ඉහළින් ජලකඳ වසා තිබෙන අවස්ථාවේ පාලමෙන් එගොඩ වීමට උත්සාහ ගත් අවස්ථාවේධී බව පොලිස් පරීක්ෂණවලදී හෙලිවී තිබිණි.
ජලයේ ගසාගෙන ගිය පුද්ගලයා හා යතුරු පැදිය සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් යොදවා පරීක්ෂණ පැවැත්වූ අතර අනතුර සිදුවූ ස්ථානයට ආසන්නයේ තිබී යතුරු පැදි දෙකක් පසුගිය 18 සවස සොයා ගනු ලැබීය. ඉන් එක් පැදියක් අතුරුදන් අය ගමන් කළ බව හෙලිවී ඇත. අනෙක් යතුරු පැදිය පෙර අවස්ථාවකදී අනතුරට පත්වූ අයෙකුගේ එකක් බවට පොලිසිය සැක කරයි.