මහවිලච්චියේ ගොවීහු වට්ටක්කා වගාව අත්හරිති


(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර, මහවිලච්චිය ගොවි ජනපදයේ  වගා කළ අක්කර 1500 ක්  පමණ වට්ටක්කා වගාව   රසායනික පොහොර නොමැතිවීම නිසා අතහැර දමන්නට තමන්ට සිදුව ඇතැයි ගොවිහු පවසති.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ථ වට්ටක්කා වගාවෙන් 3/4 ක්ම වගා කරනුයේ මහවිලච්චියේ ගොවීන්ය. රසායනික පොහොර නොමැතිවිම නිසා තමන් මහත් අසිරැතාවයකට පත්ව ඇතැයිද ඔවුහු පවසති.

එම ගම්මානයේ පවුල් 800 ක් පමණ ජීවත් වෙන්නේ අහස් දියෙන් පිරෙන මහවිලච්චිය වැවෙන් ලබා ගන්නා ජලයෙන් හා වගා ලිං වල ආධාරයේ වගා කරන වට්ටක්කා හා බඩඉරගු වගාවෙනි.

මහවිලච්චිය, පේමඩුව,මන්නාරම් හංදිය,  කුකුල්කටුව, විලච්චිය හා යාය 04 ප්‍රදේශ වල  අක්කර 1500 කට වැඩි ප්‍රමාණයක් මෙම ගම්මාන වල ගොවින් වගාවන්  සිදු කරයි.

ගොවීන් පෙන්වා දෙන්නේ, වන අලි තර්ජන මධ්‍යයේ මාස දෙකක් පමණ වගාබිම්වල රැඳී සිටිමින් දැඩි දුෂ්කරතා විඳ වගාවන් සිදු කළ ද ඒ සඳහා වැය කළ මුදල් සියල්ලම අපතේ ගොස් ඇත්තේ වගාවන්ට අවශ්‍ය කාලයේදී රසායනික පොහොර නොමැති වීමෙන් බවද ගොවීහු පවසති.