මසක් තුළ සංචාරකයන් ලක්ෂයක් ඇවිත්


(ඩයනා උදයංගනී)

මෙම මාසයේ ගත වූ දින 29 ක කාලයේදී සංචාරයක් ලක්‍ෂය ඉක්මවා මෙරටට පැමිණ ඇති බවත්, එලෙස මසක සංචාරක පැමිණීම ලක්‍ෂය ඉක්මවූයේ වසර දෙකකට පසුව බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මෙම මස 1 වැනිදා සිට 29 වැනිදා දක්වා සංචාරකයන් 101,192 ක් දිවයිනට පැමිණ ඇති බවත්, ඒ අනුව මේ වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 280,026ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනවාරි මාසයේ සංචාරකයන් 82,327 ක් සහ පෙබරවාරි මාසයේ දී 96,507 දෙනෙක් මෙරටට පැමිණ ඇතැයි ඇමතිවරයා කීවේය.

පසුගිය වසරේ (21) මෙරටට පැමිණි මුළු සංචාරකයන් සංඛ්‍යාව 194,495 ක් පමණක් බව ද ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මෙම මාසයේදී මෙරටට සංචාරකයන් වැඩිම ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 22,231 කි.

මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයන් 11,634 දෙනෙක්, ජර්මනියෙන් 9,140 ක්, රුසියානු සමුහාණ්ඩවෙන් 8,716 ක් පැමිණ ඇති අතර ප්‍රංශය, පෝලන්තය, ඇමෙරිකානු එක්සත් ජනපදය, කැනඩාව, කසකස්ථානය, ඉරානය යන රටවලින්ද මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණ ඇත.

කොවිඩ් වසංගතය හේතුවෙන් වසා තිබූ රට ඉකුත් ජනවාරි 21 වැනිදා යළි සංචාරකයන්ට විවෘත වූ අතර, කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙග සහ සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කළ වැඩසටහන් හේතුවෙන් මේ වන විට රටට ඉහළ සංචාරක ආකර්ෂණයක් ලැබී ඇතැයි ද ඇමතිවරයා කීවේය.

මෙම වසර අවසානය වන විට ලක්‍ෂ 10 කට වැඩි සංචාරකයන් ප්‍රමාණයක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව කී ඇමතිවරයා එමගින් උපයා ගැනීමට අපේක්ෂිත ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4 ක් බව ද පැවසීය.