මල්වතු පාර්ශ්වයෙන් කතානායකවරයාට ගෞරව සම්මානයක්


(චමිල් රූපසිංහ) 

මල්වතු පාර්ශ්වය මගින් ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී යන ගෞරවනාම සම්මානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය මහතාට පුද කිරීම අද (19) මල්වතු මහා විහාරයේදී සිදුකෙරිණි.

මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් අක්තපත්‍රය කියවීමෙන් අනතුරුව මහ නායක හිමිපාණන් වහන්සේ විසින්ර ගෞරව නාම සහිත සන්නස් පත්‍රය කතානායකවරයාට පිළිගැන්වු අතර මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ ඇතුළු කාරක සංඝ සභාවේ ඒකච්ඡන්දයෙන් කතානායකවරයා වෙත මෙම ගෞරව නාමය පුද කරනු ලැබීය.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි , පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී හිමි, ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි ඇතුළු මහා සංඝරත්නයද අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, අමාත්‍ය නවීන් දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.