(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මන්ත්‍රීවරුන් පනහක්වත් පාර්ලිමේන්තුවෙන් ආහාර නොගන්නා බවත් මේ සභාවෙන් ආහාර ගන්නා එක් දහස් දෙසීයක්ම පාර්ලිමේන්තු සේවකයන් සහ පිටින් එන අමුත්තන් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය .
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ඇතැම් මන්ත්‍රීවරුන් මේ සභාව ගැන අද වෛරය වපුරවමින් සිටින බවත් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් එකසිය විස්සට ඉන්ධන ලබා දෙන බවට කළ ප්‍රකාශය නිසාද රට ගිනිගත් බවත් ඔහු කීවේය.
බුද්ධික මන්ත්‍රීවරයා ඒ ප්‍රකාශය කළ පසු අන්තරේ උද්ඝෝෂණයේ ප්‍රධාන මාතෘකාව වූයේ ඒ කාරණය බවද හෙතෙම සඳහන් කළේය.
ඇතැම් මන්ත්‍රීවරුන් මේ සභාවට එරෙහිව ද්වේශ සහගත ප්‍රකාශ නිකුත් කිරීමට සමහර මාධ්‍ය ආයතනද යොදාගෙන ඇති බව සඳහන් කළ මන්ත්‍රීවරයා ඒ අසත්‍යය ප්‍රකාශ පිළිගන්නා ජනතාව මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වලට ගිනි තබන බවද පැවසුවේය.
මෙලෙස අසත්‍ය ප්‍රකාශ නිකුත් කිරීම ගැන වහා සොයා බැලිය යුතු බවද ඔහු සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවසුවේපාර්ලිමේන්තුව රැස්වන දිනයක වැයවන වියදම සහ රැස් නොවන දිනයක වියදම මේ සභාවට ඉදිරිපත් කිරීම ඉතා වැදගත් බවයි.
පාර්ලිමේන්තුව රැස්නොවන දිනක් වෙනුවෙන්ද රැස්වන දිනයට සමාන මුදලක් වැය වන බවත් මන්ත්‍රීවරුන්ගේ ආහාර වෙනුවෙන් සමහරුන් ප්‍රකාශ කරන තරම් මුදලක් වැය නොකෙරෙන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.