මන්ත්‍රී අලවතුවලගේ මාසික වැටුප කොවිඩ් අවසන් වනතුරු කොරෝනා වැඩසටහනට


(සුජිත් හේවාජුලිගේ)

සිය මන්ත්‍රී වැටුප කොවිඩ් වසංගතය අවසන් වනතුරු "විපක්ෂයෙන් හුස්මක් " කොවිඩ් ආධාර වැඩසටහනට පරිත්‍යාග කිරීමට සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අලවතුවල මහතා පැවසුවේ ජනතාව ගැන සිතා තමා ඉතා කැමැත්තෙන් මෙම තීරණය ගත් බවයි.

කොවිඩ් වසංගතය අවසන් වීමට තව වසර දෙක තුනක් ගතවිය හැකි වුවත් කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්වන ජනතාව සුවපත් කිරීමට මන්ත්‍රී වැටුප ඒ මුළු කාලයේදීම කැප කරන බවද සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ සියලුම මන්ත්‍රීවරු අගෝස්තු මස වැටුප "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන පරිත්‍යාග කිරීමට පසුගිය සතියේදී තීරණය කළහ.

ජේ සී අලවතුවල මහතා සිය මන්ත්‍රී වැටුප කොවිඩ් වසංගතය පවතිනතුරු කැප කිරීමට තීරණය කර ඇත්තේ එම තීරණයට එහා යමිනි.

විපක්ෂයේ හුස්මක් වැඩසටහනට බැර කෙරෙන සියලු මුදල් වැය කෙරෙන්නේ කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන රෝහල් වල අවශ්‍යතා සපුරා දීම සඳහාය.