මත්පෙති සමඟ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට


(සුරංග රාජනායක සහ ගයාන් සුරියආරච්චි)

මත්පෙති ජාවාරමේ යෙදෙමින් සිටි පේරාදෙණිය ළමා රෝහලේ වෛද්‍යවරයකු සමඟ මෝටර් රථය සමග  අත්අංගුවට ගත් බව ඇත්ගාල පොලිසිය කියයි.

කාලයක් තිස්සේ තැ‍රැව්කරුවන් මාර්ගයෙන් ගම්පොළ ඇතුළු අවට ප්‍රදේශ තුළ මත්පෙති ජාවාරමේ යෙදී ඇති මෙම වෛද්‍යවරයා එවැනි අයකුට රුපියල් එක්ලක්ෂ හැටදහසක මත්පෙති තොගයක් ලබාදෙමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව තිබුණි.

ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි මෙම වෛද්‍යවරයා රෝහල් වෛද්‍ය සේවාවට අමතරව ප්‍රදේශ කිහිපයක වෛද්‍ය මධ්‍යස්ථානද පවත්වාගෙන යමින් ඒ හරහාද මෙම ජාවාරමේ නිරතව තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මොහුගෙන් මත්පෙති ලබාගෙන විවිධ ප්‍රදේශවල ජාවාරමේ යෙදෙන පිරිසට මෙම වෛද්‍යවරයා හොර රහසේ රාත්‍රී කාලයේ මෝටර් රථයෙන් ගොස් මෙම මත් පෙති අලෙවි කිරීම සිදුකර තිබේ.

මෙම සූක්ෂම ජාවාරම අල්ලා ගැනීමට නොහැකිව තිබියදී අත්ගාල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සෙනරත් කැකුළන්දර මහතා උලපනේ ප්‍රදේශයේ මත්පෙති ජාවාරමේ යෙදෙන එවැනි අයකු සමග උපාය දූතයෙකු යොදවා වෛද්‍යවරයාගෙන් මත්පෙති ලබා ගැනීමට කටයුතු යොදා තිබුණි.

ඒ අනුව මෙම වෛද්‍යවරයා එවැනි අධිමාත්‍රා සහිත මත්පෙති 1600ක් අඩංගු ඇසුරුම් දාසයක් රැගෙන ඔහුගේ මෝටර්රථයෙන් රාත්‍රී එකොළහට පේරාදෙණියේ සිට ගම්පොළ ජයමාලපුර ප්‍රදේශයට පැමිණ සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.