මත්තල සක්‍රීය ගුවන් තොටුපලත් කිරී‍මේ ක්‍රියාමාර්ග පුළුල් කෙරේ


(ඩයනා උදයංගනී)

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සක්‍රීය ගුවන්තොටුපලක් බවට පත් කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මේ වසරේදී තවදුරටත් පුළුල් කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ගුවන්තොටුපලේ ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට ලෝකයේ ප්‍රමුඛපෙලේ ගුවන් සමාගම් කීපයක් සමග සාකච්ඡා කරමින් සිටින බව කී ඇමතිවරයා මේ වසර තුල එම ගුවන් සමාගම් මත්තල ගුවන්තොටුපලේ ජාත්‍යන්තර මෙහෙයුම් ආරම්භ කරනු ඇතැයි ද සඳහන් කළේය.

මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපලෙහි පසුගිය වසරේ දී ගුවන් මගී මෙහෙයුම් 32,957ක් සිදුව ඇති අතර හසුරුවා ඇති ගුවන්යානා මෙහෙයුම් සංඛ්‍යාව 722කි.

මෙම වසරේ ජනවාරි 01 වෙනිදා සිට පෙබරවාරි මස 03 වෙනිදා දක්වා සංචාරකයන් 2919ක් මත්තල ගුවන්තොටුපලින් මෙරටට පැමිණ ඇතැයි ද ඇමතිවරයා පැවසීය.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල ආරම්භ වූ 2013 මාර්තු 18 වැනිදායින් පසු එම වසරේදී ගුවන් මගී මෙහෙයුම් 36,137ක් හා ගුවන්යානා මෙහෙයුම් 1520ක් ද, 2014 වසරේදී ගුවන් මගී මෙහෙයුම් 40,386ක් සහ ගුවන්යානා මෙහෙයුම් 2924ක් ද සිදුකර ඇති අතර 2015 යහපාලන රජය බලයට පත්වීමත් සමග එහි මෙහෙයුම් අඩාල කර වී ගබඩා කිරීමට කටයුතු කළ බව ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු එම ගුවන්තොටුපල “විදේශීය සංචාරක ගමනාන්තයක්” ලෙස ප්‍රවර්ධනය කිරීමට රජය කටයුතු කළ අතර, ඒ අනුව ජාත්‍යන්තර ගුවන් සමාගම් ආකර්ෂණය කර ගැනීම සඳහා ගුවන්තොටුපල ගාස්තු නිදහස් කිරීම ඇතුළු පියවර ගත් බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට ස්කයිඅප්, ගලිවර්, උස්බෙකිස්ථාන ගුවන්සේවය, කටාර්,එයා(ර්) ඒෂියා, මාලදිවයින් ගුවන්සේවය, සලාම් එයා(ර්) වැනි ජාත්‍යන්තර ගුවන්සේවා ඒ වෙත සිය ගුවන්ගමන් සිදුකරන බවත් ඇමතිවරයා කීය.