(අමදෝරු අමරජීව)
තවමත් විවෘත කර නොමැති මඩකලපුව විශ්ව විද්‍යාලය ෂරියා උපාධි පිරිනමන විශ්ව විද්‍යාලයක් නොවන බවත්, අරාබි ඉස්ලාමීය විශ්ව විද්‍යාල සමග කිසිඳු ගිවිසුමක් අත්සන් කර නොමැති බවත්, එවැන්නක් අනාගතයේ අත්සන් කිරීමට කිසිදු අභිප්‍රායක් නොමැති බවත් එම විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.එම්.එම්.හිස්බුල්ලා මහතා කියයි.
ඉස්ලාමිය ආගමික අන්තවාදින්ගේ ප්‍රහාරවලින් පසුව මඩකලපු විශ්වවිද්‍යාලය ඉස්ලාමීය අන්තවාදය ඉගැන්වෙන ෂරියා උපාධි පිරිනැමෙන විශ්ව විද්‍යාලයක් බවට විවිධ පාර්ශව කරණ ප්‍රකාශ වලට පිළිතුරු දෙමින් ආණ්ඩුකාරවරයාගේ අත්සනින් නිකුත් කල නිවේදනයක මේ බව දැක්වේ.
ප්‍රධාන වශයෙන් මෙම විශ්ව විද්‍යාලය තුලින් තොරතුරු තාක්ෂණය, තාක්ෂණ වේදය,කළමණාකරණය, කෘෂිකර්මය යන විෂය ක්ෂේත්‍රවල උපාධි පාඨමාලාවන් මේ මගින් පැවැත්විමට නියමිත අතර අධ්‍යාපන සහයෝගිතාවය හා ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරිම සදහා එක්සත් රාජධානිය, මැලේසියාව යන රටවල විශ්ව විද්‍යාලයන් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බව මෙම නිවේදනයෙන් අවධාරණය කරයි.
ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය යටතේ සහ ශ්‍රි ලංකා සමාගම් පනත යටතේ ස්ථාපනය කරන ලද මෙම විශ්ව විද්‍යාලය උපාධි ප්‍රදානය කිරිමේ රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලයක් ලෙස අප රටේ අධ්‍යාපනය දියුණු කිරිම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හා ශ්‍රි ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරිමට 2015.ජුනි 03 දින අයදුම් කර ඇති බවද මෙම නිවේදනයේ දැක්වේ.
මෙම විශ්ව විද්‍යාලය ස්ථාපිත කිරීම සඳහා පොලොන්නරුවේ පූනානි ප්‍රදේශය තෝරා ගත්තේ සිංහල, දෙමල, මුස්ලිම්, ක්‍රිස්තියානි සියලු ජනවර්ගවල සිසුන්ට පහසුවෙන් ලඟාවීමට බවද කියයි. මෙහි උපකුලපති, පීඨාධිපතිවරුන්, මහාචාර්යවරුන්, කාර්යමණ්ඩල සියලු ජන කොට්ඨාස නියෝජනය කරන බවද මෙම නිවේදනයේ දැක්වේ.


