(අංජුල මහික වීරරත්න)
බෝ නොවන රෝග පාලනයට ව්‍යායාම වල යෙදීමේ වැදගත්කම ජනතාවට කියා දෙමින්, ක්‍රියාශීලී නීරෝගීමත් ජීවන රටාවකට ජනතාව යොමු කරවීමට ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඉටුකරනු ලබන කාර්යභාරය විශිෂ්ට බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ සංගමයේ (SLSMA) පස්වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. මෙම සැසිවාරය කොළඹ ගලධාරි හෝටලයේ දී පැවැත්විණි.
මෙරට රජයේ රෝහල් පද්ධතියේ ප්‍රධාන රෝහල් වල ක්‍රීඩා හා ව්‍යායාම වෛද්‍ය ඒකක යම් ප්‍රමාණයක් මේ වන විට ස්ථාපිත කර ඇති බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා එයින් මෙරට ජනතාවගේ සෞඛ්‍ය සංවර්ධනයට,ප්‍රවර්ධනයට සහ සුරක්ෂිතතාවයට මෙන් ම සෞඛ්‍ය අධ්‍යාපනයට ද විශාල දායකත්වයක් ලබා දෙන බව ද පැවසීය.
මෙම සැසියේ ආරාධිත විශේෂ දේශනය ලන්ඩන් විශ්ව විද්‍යාලයේ සහ ලන්ඩන් විශ්ව විද්‍යාල රෝහලේ ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ මහාචාර්ය Mike Loosemore මහතා විසින් පවත්වන ලදී.