බොරු නඩුවක් දැමූ පොලිස් ලොක්කොන්ට වන්දි ගෙවීමට නියෝග


(මනෝප්‍රිය ගුණසේකර)

මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට බොරුවට නඩු පැවරූ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවීමට ගම්පහ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට සහ පොලිස් දෙපාර්තමේන්තුවට ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා නියම කළේය.

රට වැසියකුට පීඩාකාරී වන අන්දමට පොලිස් නිලධාරීන් නිස්සාරණ නඩු පැවරීමක් කර ඇතැයි තීන්දු කරමින් මෙලෙස වන්දි ගෙවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා මේ මාසයට වඩා ඊළඟ මාසයේ නඩු වැඩි නඩු ප්‍රමාණයක් ගත යුතු බවට පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ නියෝග මත ක්‍රියාත්මක වුවහොත් ඉදිරි වසර පහක කාලය ගතවන විට පොලිසියට නඩු පැවරීම සඳහා ලංකාවේ ජනගහනය ප්‍රමාණවත් නොවන බවද අවධාරණය කළේය.

නඩු වැඩිවීම යනු සැබවින්ම ප්‍රදේශය භාර පොලිසියේ අකාර්යක්ෂමතාවය විදහා පෙන්වන්නක් බව අවධාරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා මෙම නියෝගයේ පිටපතක් පොලිස්පතිවරයාට යොමු කිරීමටද අධිකරණ රෙජිස්ටාර්වරයාට නියම කළේය.

නිස්සාරණ නඩු පැවරීමකට යටත් කළ දෙවොලපොළ මාකන්දන පදිංචි චාමර චතුරංග මාරසිංහ නමැත්තාට එරෙහිව ගම්පහ දූෂණ මර්දන කොට්ඨාශය පවරා තිබූ නඩු දෙකෙන්ම ඔහු නිදහස් කළ මහේස්ත්‍රාත්වරයා ඔහුට වන්දි ගෙවීමට ඔහු අත්අඩංගුවට ගත් ගම්පහ පොලිසියේ දුෂණ මර්ධන අංශයේ පොලිස් නිලධාරීන්ට සහ පොලිස් දෙපාර්තමේන්තුවට නියම කළේය.