බීමත්ව රාජකාරි කළ දුම්රිය වෘත්තීය සමිති නායකයා මාට්ටු


(යොහාන් භාසුර)

කොල්ලුපිටිය උත්තරානන්ද දුම්රිය හරස් මාර්ග දුම්රිය ගේට්ටූවේ ක්‍රියාකරු ලෙස කටයුතු කරමින් සිටි වෘත්තීය සමිති නායකයෙක්  මත්පැන් පානය කර රාජකාරි කරමින් සිටියදී ඊයේ (13) රාත්‍රියේ බාරයට ගත් බවත් ඔහු මත්පැන් පානය කර සිටි බවට තහවුරු වී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා පැවසීය. 

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයට අනුයුක්තව සේවය කරන  දුම්රිය කාර්ය සහයකයෙක් මෙසේ බාරයට ගත් අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කරමින් සිටින බවත්  ඔහු  දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිතියක ඉහළ තනතුරක් දරන පුද්ගලයෙක් බවත් සමරසිංහ මහතා කීය. 

අදාළ සේවකයා සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමෙන් කටයුතු කරන බවත් ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව ඔහුට එරෙහිව කටයුතු කරන බවත් සමරසිංහ මහතා සඳහන් කළේය. 

උත්තරානන්ද මාවත දුම්රිය හරස් මාර්ගය අරලියගහ මන්දිරයට ආසන්නව පිහිටා ඇති අතර ශ්‍රී ලංකාවේ වෙසෙන බොහෝ තානාපතිවරු සහ ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් මෙන්ම රටේ ඉහළ පෙලේ  ප්‍රභූන් ගමන් කරන දුම්රිය හරස් මාර්ගයක්වීම නිසා මෙම සිද්ධිය බරපතල එකක් බව ද දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෝ පවසති.