(මනෝප‍්‍රිය ගුණසේකර)
පොදු වැසිකිලියක් තුළදී අවුරුදු 13 ක බාලවයස්කාර පිරිමි ළමයකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ 63 හැවිරිදි වියේ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා වසර 30 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් අද (24) නියම කළේය.
මීට වසර තුනක කාලයකට පෙරදී කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයේ පොදු වැසිකිලියක් තුළදී බාලවයස්කාර පිරිමි ළමයකුට බරපතල ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වී මෙලෙස දඬුවම් නියම වූ විත්තිකරුට අතවරයට ලක් වූ දරුවාට රුපියල් ලක්‍ෂ තුනක වන්දියක් ගෙවීමට ද විනිසුරුවරයා නියම කළේය.
2016 වසරේ කොළඹ දී බාලවයස්කාර දරුවකුට ලිංගික අතවර කළ බවට නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසුව විත්තිකරුට එරෙහි සියළු චෝදනා පැමිණිල්ල විසින් කිසිඳු සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට අදාළ දඬුවම නියම කළේය.
මීට අමතරව විත්තිකරුවන්ට රුපියල් 3,000/- ක දඩ නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට නියම කළ දඩ හා වන්දි මුදල් නොගෙවුවහොත් අමතර සිරදඬුවම් ද නියම කළේය.

