(ඩයනා උදයංගනී)
පෞද්ගලික හා ලංගම බස්රථවල සිදුකෙරෙන වෙළඳාම් කටයුතු වහාම නවත්වන්නැයි ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට හා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දී තිබේ.
දුම්රියවලට ජංගම වෙළෙන්දන් ඇතුළුවීම ඉකුත් මාර්තු මාසයේ සිටම නවත්වා ඇති බව ද ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.
කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඇතැම් ජංගම වෙළෙන්දන් සෞඛ්‍යාරක්‍ෂිත පිළිවෙත් අනුගමනය නොකරන බවට ජනතාවගෙන් පැමිණිලි ලැබී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇතැම් ජංගම වෙළෙඳුන් විසින් බස් රථ තුළ විවිධ ආහාර ද්‍රව්‍ය, වතුර බෝතල් ආදිය අලෙවි කිරීමේදී බස් රථ ගණනාවකට ගොඩ වන බැවින් ඔවුන් නිසි සෞඛ්‍ය ආරක්‍ෂණ පිළිවෙත් අනුගමනය නොකරන්නේ නම් එය අවදානමක් බව අමාත්‍යවරයා කීවේය.
එයින් කොවිඞ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමට ඇති ඉඩ ඇති නිසා එම ජංගම වෙළඳ කටයුතු නැවැත්වීමට පියවර ගන්නා ලෙසත්, එහිදී ආරක්‍ෂක අංශවල හා ගමනාගමන මණ්ඩල නිලධාරීන්ගේ සහයෝගය ද ලබා ගන්නා ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දී ඇත.

