
(අංජුල මහික වීරරත්න)
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට නම් ගුරුවරුන්ගේ සහ මාපියන්ගේ විශ්වාසය දිනා ගැනීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
සැකයක් හෝ අවිශ්වාසයක් සහිතව පරිවර්තනයක් සිදු කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී රජය සමඟ එක්ව කටයුතු කරන ලෙසද ගුරු වෘත්තීය සමිති නියෝජිතයන්ට ආරාධනා කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ පැවති හමුවකදීය.
රජය ආරම්භ කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී ගුරු වෘත්තීය සංගම් නියෝජිතයන් දැනුවත් කළ ජනාධිපතිවරයා පළමු ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ කටයුතු සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කරන නමුත්, මොඩියුල සකස් කිරීමේදී පවතින ගැටලු, ගුරු පුහුණු කිරීමේ ප්‍රමාදය සහ තාක්ෂණික ගැටලු මඟ හරවා ගනිමින් 06 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම 2027 වසරේදී සිදු කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.
ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ස්මාර්ට් පුවරු, රූපවාහිනි සහ පරිගණක වැනි යටිතල පහසුකම් මාපියන්ගේ මුදලින් නොව රජයේ මුල්‍ය ප්‍රතිපාදන මත ලබා දීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
අන්තර් පළාත් ගුරු මාරුවීම්, උසස්වීම්, වැටුප් විෂමතා සහ විදුහල්පති සේවාවේ ගැටලු පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරිණි.
ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් මෙහිදී කීවේ රජය ක්‍රියාත්මක කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ එහි අවශ්‍යතාව පිළිගන්නා බවත් 6 ශ්‍රේණියේ විෂය නිර්දේශය නව සංශෝධනයකට ලක්විය යුතු බවත්ය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී රජය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවද ඔවුහු ප්‍රකාශ කළහ.
ජාතික අධ්‍යාපන කොමිසම, ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපනඥයන්, නීතිඥයන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් සමන්විත විධිමත් යාන්ත්‍රණයක අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කිරීමටද ඔවුන් මෙහිදී යෝජනා විය.
ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමයේ සභාපති වකමුල්ලේ උදිත හිමි, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමි, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්, ලංකා ගුරුසේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම, අධ්‍යාපන සමූපකාරයේ සභාපති එම්.ජී.පී.එල්. ලාල් කුමාර, විදුහල්පති සේවා සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්‍ෂ මහත්වරු ඇතුළු ගුරු වෘත්තීය සමිති සංගම් රැසක් නියෝජනය කරමින් නියෝජිතයෝ මීට එක්ව සිටියහ.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd