(දයාරත්න ඇඹෝගම)
ශ්‍රී ලංකාවේ පළමුවන වැව ලෙස හැඳින්වෙන අභයවැව ( බසවක්කුලම ) වැව් බැම්ම පාමුල වෙල් යාය මායිමේ කුඩා වනරොදක් තුළ පුරාවිද්‍යා නටඹුන් ස්ථාන රැසක් වගකිව යුත්තන්ගේ අවධානයට ලක්නොවිමේ හේතුවෙන් විනාශ වෙමින් පවතින බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මෙම නටඹුන් සහිත ස්ථානය පිහිටා ඇත්තේ අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරය හා ජන කෞතුකාගාරය පේන තෙක් මානයේය විමද තවත් එක් විශේෂතත්වයකි. අනුරාධපුර ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය ද ඇත්තේ මෙතැන් සිට වැඩි ඈතක නොවේ.
අභය වැව යටතේ වගා කෙරෙන කුඹුරු යායේ බස්නාහිර කෙළවරේ කුඩා වන ලැහැබක පිහිටි මෙම පුරාණ ගොඩනැඟිලි කොටස් වසර ගණනාවක සිට විවිධ ආකාරයෙන් විනාශයන්ට ලක්වෙමින් තිබෙන බව බැලූ බැල්මට පෙනේ.
ඇතැම් වගාකරුවන් තම කුඹුරේ වපසරිය වැඩිකර ගැනීමට ගොඩනැඟිලි කොටස් ගලවා ඉවත්කර තැන තැන දමා තිබේ. ඇතැම් ඒවා ඒ ඉවත්කිරීම් වලදී කැඩී බිඳී ගොසිනි. තවත් ඇතැම් ගොඩනැඟිලි කොටස් වන ලැහැබ තුළ ගස්වැල්වලට යටවී තිබෙනු දැකිය හැකිය.
අභයවැව ආසන්නයේ පදිංචි ගොවි මහතෙකු සඳහන් කළේ ඇතැම් පිරිස් මෙවැනි නටඹුන් සහිත ප්‍රදේශ මැදිකර ස්ථිර වැටවල් ගසා පුරාවිද්‍යා නටඹුන් ඉවත්කර වසර ගණනාවක් තිස්සේ වගා කටයුතු කරගෙන යන බවයි.
සමහරු එම භූමිවල පැරණි ගොඩනැඟිලි කොටස් යොදාගෙන නිවාස ඉදිකර එම භූමිවලට සින්නකර ඔප්පු ද ලබාගෙන ඇති බවයි.
පසුගිය මාස කීපය මුළුල්ලේම පුරාවස්තු විනාශ කිරීම් සම්බන්ධ මාධ්‍ය වාර්තා පළවිය. කහටගස්දිගිලිය නැට්ටුක්කන්ද, නාච්චාදූව නිදන්ගල , තඹුත්තේගම වෙහෙරගල වසර 4000 ක් පැරණි මෙගලිතික සුසාන ආදී පුරාවිද්‍යා ස්ථාන බුල්ඩෝසර් කර බලහත්කාරයෙන් නිවාස ඉදිකෙරුනේ හා වගා බිම සැකසුනේ අනුරාධපුරයෙන් තරමක් දුර බැහැර ප්‍රදේශවලය.
එහිදී පුරාවිද්‍යා බළධාරීන් පැවසුවේ දිවයිනේ කුමන ප්‍රදේශයක වුවද පුරාවිද්‍යා නටඹුන් තිබිය හැකි බවත් ඒ සියළුම ස්ථාන ආරක්ෂා කිරීමට අවශ්‍ය පිරිස් බලය තමන්ට නොමැති බවත් ය. අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයේ නිළධාරියකු පැවසුවේ තම කාර්යාලයේ සිටින්නේ කම්කරුවන් දෙදෙනෙකු පමණක් බවයි. ඒ නිසා නගරයෙන් දුර බැහැර ස්ථාන රැක බලා ගැනීම දුෂ්කර කටයුත්තක් බවයි.
එසේනම් ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයට ආසන්න, අනුරාධපුර පූජා නගරය මධ්‍යයේ මෙන්ම රුවන්වැලි මහ සෑ රදුන් ආසන්නයේ පවතින මෙවන් වටිනා පුරාවිද්‍යා ස්ථානයක් වනගත වන්නට හා විනාශවන්නට ඉඩහැර තිබීම පිළිබඳව පුරාවිද්‍යා බළධාරීන් පවසන්නේ කුමක්දැයි අද ජනතාව නඟන ප්‍රශ්නයයි.
බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර ශ්‍රීමතාණන් දිවි හිමියෙන් රැකගත් අනුරාධපුරයේ බෞද්ධ උරුමයට සිදුව ඇති ඉරණම මෙය දැයි අද ජනතාව නඟන ප්‍රශ්නයයි.



