බවුසරයක් පෙරලී දැවිතෙල් පාරපුරා ගලයි


(සිතුම් චතුරංග)

යාපනය නුවර ඒ නවය මාර්ගයේ යාපනය, මුරුසුවිල් ප්‍රදේශයේදී අද (22) උදෑසන ඉන්ධන රැගත් බවුසරයක් බස්රථයක ගැටී මාර්ගය හරහා පෙරෙලීයාමෙන් පැය කිහිපයක් ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවූ බව කොඩිකාමම් පොලිසිය කියයි.

දැවිතෙල් ලීටර 33000කට අධික ප්‍රමාණයක් කොළඹ සිට යාපනයට ප්‍රවාහනය කළ බවුසර් රථයක් සහ යාපනයට ගමන්කරමින් තිබූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී බස්රථයේ ගැටී ඉන්ධන පිරවූ බවුසරය පාලනය කරගැනීමට නොහැකිව පෙරළී ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරින් බස්රථයේ පැති කණ්නාඩිය ආශ්‍රිත ප්‍රදේශයට පමණක් හානි සිදුව තිබූ බවත් බස්රථයේ ගමන්ගත් කිසිවෙකුට තුවාල සිදුව නොවී ඇති බවත් පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූයේ බවුසර් රථයේ ගමන්ගත් රියදුරු සහ රිය සහයකවරයාද කිසිදු අනතුරක් සිදුව නොමැති බවත්ය.

අනතුර හේතුවෙන් මාර්ගය පුරා දැවිතෙල් විසිරී ගොස් තිබූ අතර කොඩිකාමම් පොලිසිය ආරක්ෂිත පියවරක් ලෙස බැකෝ යන්ත්‍ර යොදාගනිමින් මාර්ගයේ වැලි අතුරා පැය කිහිපයකට පසු රථවාහන ගමනා ගමනය සඳහා නැවතත් මාර්ගය විවෘත කරනු ලැබීය.

කොඩිකාමම් රථවාහන පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.