බලන්ගොඩ මුස්ලිම් පල්ලිය තාවකාලිකව වහයි


(ප්‍රින්ස් රත්නායක)
 
බලංගොඩ ප්‍රදේශයෙන් කෝවිඩ් ආසාදිතයින් දෙදෙනකු හමු වීමත් සමග බලංගොඩ ගොරොක්ගහමඩ  මුස්ලිම් පල්ලිය දින කීපයකට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව බලංගොඩ නගරාධිපති චමික ජයමිණ වැවේගෙදර මහතා පැවසීය.

බලංගොඩ දෙහිගස් තලාව සහ ගොරොක්ගහමඩ ප්‍රදේශයේ කෝවිඩ්  ආසාදිතයින් දෙදෙනකු හමු වීමත් සමඟ මෙම පියවර ගත් බව නගරාධිපතිවරයා පැවසීය.

ආසදිත පුද්ගලයා  වයස අවුරුදු 60 ක් පමණ වන අතර ඔහු රත්නපුර රෝහලේ  සායනික ප්‍රතිකාර ලබා ගැනීමට ගොස්  ඇත. එම පුද්ගලයා  පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කෝවිඩ්  ආසාදිත බවට හඳුනා ගැනීමත් සමග හෝමගම රෝහලේ කෝවිඩ්  ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව බලන්ගොඩ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  නූර්දන් රිෆයිඩීන්  මහතා පැවසීය .

වයස අවුරුදු එක හමාරක දරුවෙකුට ද කෝවිඩ්  ආසාදනය වී ඇති බව වාර්තා වෙයි. 

එම දරුවා සහ පවුලේ පිරිස එක්ව ගමන් ගනිද්දී හදිසි අනතුරකට ලක් වී  ඇති අතර එම දරුවා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර සිටියදී සිදු කළ ඇන්ටිජන්  පරීක්ෂණයෙන් කෝවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇත.

මේ හේතුවෙන් බලංගොඩ ප්‍රදේශයේ ගොරොක්ගහමඩ  සහ දෙහගස්තලාව ප්‍රදේශයේ කෝවිඩ්  ආසාදිත පුද්ගලයින් දෙදෙනාගේ  පවුල් තුනක  පළමු ආශ්‍රිතයෙන් පහළොස් දෙනෙකුට නිරෝධායනය කටයුතු සඳහා යොමුකර ඇති අතර තවදුරටත් එම පුද්ගලයන් හා ආශ්‍රිත පුද්ගලයෙක් පිළිබඳව කටයුතු සිදුකරමින් සිටින බව සෞඛ්‍ය පවසයි.