බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂක තත්වය තවදුරටත් සීරුවෙන්


(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
 

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සහ අනෙකුත් සියලු සිවිල් ගුවන්තොටුපළවල ක්‍රියාත්මක කර ඇති දැඩි ආරක්ෂක පියවර, ඇඳිරි නීතිය පැනවීම මධ්‍යයේ වුවද තවදුරටත් එලෙසින් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි.
 
කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා ගනු ලබන පියවරක් ලෙස ගුවන් මගී ප්‍රවාහනයට සීමා පැනවුවද, බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ගුවන් මෙහෙයුම් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කරයි.
 
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව 2019 අප්‍රේල් මාසයේ සිට සියලු ගුවන් තොටුපළවල ආරක්ෂාව දැඩි කර තිබිණි.
 
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ව්‍යවස්ථාපිත සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම, ගුවන් තොටුපළෙහි ගුවන් සංතරණ සේවාවන් වන සෙවීම්, මුදාගැනීම් හා ගිනි නිවීම්, ගුවන් සේවා ආරක්ෂාව හා ගුවන් ගමන් පාලන සේවා සැපයීමේ වගකීම ඉටුකිරීම සම්බන්ධයෙන් බැඳී සිටින බවද ඒ මහතා සඳහන් කරයි.
 
මීට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය සහ රාජ්‍ය බුද්ධි අංශයටද මේ සඳහා දායකව සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වන කපිතාන් තේමිය අබේවික්‍රම මහතා පැවසුවේ, කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා ගුවන් මගී ප්‍රවාහනය පිළිබඳව සීමා පනවා තිබුණද, ඒ සඳහා බාධාවක් නොවන පරිදි ගුවන් සේවා ආරක්ෂාව සහ සුරක්ෂිතතාව සම්බන්ධ නියාමන හා අධීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය කරන බවය.
 
දැනට පවත්වාගෙන යනු ලබන දැඩි ආරක්ෂක පියවර නොකඩවා පවත්වාගෙන යන ලෙසත්,  ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ආරක්ෂක විගණන සම්බන්ධ ලෝක ශ්‍රේණිගත කිරීමේදී මේවනවිට ලබාගෙන ඇති සුවිශේෂ තත්වය තවදුරටත් රැකගැනීමට කටයුතු කරන ලෙසත් සිවිල් ගුවන් සේවා ආරක්ෂක ක්ෂේත්‍රයේ සියල්ලගෙන්ම ඔහු ඉල්ලා සිටී.