බණ්ඩාරගමිනුත් ඉන්ධන වංචාවක් හසු වෙයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කැබ් රථ දෙකක ඇන්ජිම හා ඉන්ධන ටැංකිය අතර ඉන්ධන ගමන් මාර්ගය ව්‍යාජ ලෙස වෙනස් කර හා අංක තහඩුව ද ව්‍යාජ අයුරින් වෙනස් කර පෙට්රල් ලබා ගැනීම සඳහා බණ්ඩාරගම නගරයේ ඉන්ධන පිරවුම් හලක් අසල පෝලිමේ රඳවා තිබූ කැබ් රථ දෙකක් සමග පුද්ගලයන් දෙදෙනකු  අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.

ඩීසල්වලින් ක්‍රියාත්මක වන වාහන දෙකක ලියාපදිංචි අංක තහඩුව ව්‍යාජ ලෙස වෙනස් කර ඉන්ධනහලට ආසන්නව සහ පෝලිමේ මැදහරිය වන්නට රඳවා තිබෙන බවට බණ්ඩාරගම පොලිසියට අනියුක්ත බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් අනුව මෙම වාහන දෙක සොයා ගත් බව පොලිසිය කියයි.

එම වාහන දෙක හා රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ඒමෙන් අනතුරුව එකී වාහන දෙකේ ඉදිරිපස විවෘත කර සිදුකළ වැඩිදුර පරික්ෂා කිරීමේදී ඩීසල් යෙදූ ප්ලාස්ටික් බූලියක් ඇන්ජිම කොටසේ කෙළවරක තබා එන්ජිමට බට මාර්ගයෙන් සම්බන්ධ කර එය පණ ගැන්විය හැකි ආකාරයෙන් ඉතා සූක්ෂම ලෙස වාහන දෙකම එකම ආකාරයේන් සකස් කර තිබෙන අයුරු දැක ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.