බංග්ලාදේශය එක්දින තරගාවලිය ජයගනී


(යොහාන් භාසුර)

බංග්ලාදේශ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ලැබීමට අද (18) සමත් වූහ.

දෙරට අතර චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේදී අද පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් බංග්ලාදේශ පිල කඩුලු 4 ක පහසු ජයක් ලැබීය.

දඟ පන්දු යවන්නක් ලෙස කණ්ඩායමට ඇතුළත් වූ 21 ක් හැවිරිදි රිෂාඩ් හොසේන් අනපේක්‍ෂිත ප්‍රහාරයක් දියත් කිරීමට කැපී පෙනුණි. හොසේන් පන්දු 18 කින් හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 48 ක් රැස්කරමින් ජයග්‍රහණය ඉක්මන් කළේය.

ආරම්භක පිතිකරු ටන්ෂිඩ් හසන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 81 කින් හතරේ පහර 9 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 84 ක් රැස්කිරීමට සමත් විය.  

ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී සියලු දෙනා දැවී 235

(කුසල් මෙන්ඩිස් 29, චරිත් අසලංක 37, ජනිත් ලියනගේ නොදැවී 101, මහීෂ් තීක්‍ෂණ 15, ටස්කින් අහමඩ් 42/3, මුස්ටෆිෂූර් රහමන් 39/2, මෙහෙදි හසන් මිරාෂ් 38/2)

බංග්ලාදේශ පිල ඕවර 40.2 කදී කඩුලු 6 ට 237

(ටන්ෂිඩ් හසන් 84, තව්හිඩ් රිඩෝයි 22, මුෂ්ෆිකූර් රහීම් නොදැවී 37, මෙහෙදි හසන් මිරාෂ් 25, රිෂාඩ් හොසේන් නොදැවී 48, ළහිරු කුමාර 48/4, වනිඳු හසරංග 64/2)