(නිමන්ති රණසිංහ )
වරාය නගරයේ (පෝර්ට් සිටි) ගබඩාවක් බිඳ එහි දේපළ සොරාගත් බවට අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කළේ යැයි කියන එහි ප්‍රසම්පාදන බාර නිලධාරියා වන චීන ජාතික ලිසිහුආ ( Lisihua) නමැත්තාට ලබන මස 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (17) නොතීසි නිකුත් කළේය.
මහෙස්ත්‍රාත්වරයා මෙසේ නොතීසි නිකුත් කළේ වරාය පොලිසිය එම චීන ජාතිකයා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමකින් අනතුරුවය.
වරාය නගරයේ ගබඩාව බිඳ එහි තඹ කම්බි හා තඹ කූරු ඇතුළු දේපළ සොරකම් කර ඇතැයි සැකකරු පසුගිය දිනක වරාය පොලිසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් ඒ අනුව මේ සම්බන්ධව විමර්ශන කළ අවස්ථාවේදී කිසිදු දේපළක් සොරකම් කර නැතැයි තොරතුරු අනාවරණය වූ බවත් වරාය පොලිසිය අධිකරණයේ හමුවේ කරුණු වාර්තා කළේය.
ඇඟිලි සලකුණු නිලධාරීන් හා පොලිස් සුනඛයින්ද මෙම විමර්ශන සඳහා යොදාගත් බව පොලීසිය වැඩිදුරටත් දැනුම් දුන්නේය.
චීන ජාතිකයා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කළේ යැයි සඳහන් කරමින් වරාය පොලිසිය මෙම නඩුව පවරා ඇත.
වරාය පොලිසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිශාන්ත රාජපක්ෂ මහතා පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

