(කාංචන කුමාර ආරියදාස)
රටපුරා පවතින පොහොර හිගය සමඟ දඹුල්ල ප්‍රදේශයේ ඇතැම් පොහොර අලෙවි කරන ව්‍යාපාරිකයන් ඉතා සූක්ෂම ලෙස රුපියල් දහසේ පොහොර මිටිය රු 1200කට විකුණන බව ගොවීහු චෝදනා කරති.
දඹුල්ල බස් නැවතුම්පළ පිටුපස පොහොර අලෙවි කරන පෞද්ගලික ආයතනයක අද (30 ) අලුයම යුරියා පොහොර මිටියක් රුපියල් එකදාස් දෙසිය බැගින් අලෙවි කළ බවත් එම යූරියා පොහොර මිටියක වෙළඳපළේ මිල රුපියල් දහසක් ලෙස ප්‍රදර්ශනය කර තිබියදීත් නීතිගත කර තිබියදී මෙසේ අලෙවි කරන බව ගොවීන් කියති.
කඩින් කඩ ඉතා රහසේ මෙම පොහොර තොග ගොවීන්ට අලෙවි කරමින් ව්‍යාපාරික ස්ථානය වසා ඔවුන් වෙනත් ව්‍යාපාරික ස්ථානයක රැඳී සිටින බවද එහිදී අනාවරණය විය.
අප එම ස්ථානයට යන විටත් රුපියල් එක්දහස් දෙසිය බැගින් පොහොර මිලදී ගත් ගොවීන් රැසක් බස්නැවතුම්පල ඉදිරිපිට එම වෙලඳසැල ආසන්නයේම පොහොර තබාගෙන රැඳී සිටියහ.
මෙම ගොවීන් සියළු දෙනාම කියා සිටියේ රුපියල් 1200 බැගින් තමන්ට පොහොර මිටිය අලෙවි කළ බවත් ඒ සඳහා මිල සඳහන් බිල් පතක් හෝ ලබා නොදුන් බව ගොවීහු කියති.
ගොවීන් නැඟූ මෙම චෝදනාව පිළිබඳව පෞද්ගලික පොහොර අලෙවිකරණ ආයතනයේ ගොස් එහි අයිතිකරුවන්ගෙන් විමසීමේදී කියා සිටියේ යූරියා පොහොර තම වෙළඳසැලේ නොමැති බවත් උදෑසන තිබූ පොහොර අලෙවි කළ බව ය.
තමන් රුපියල් 1200 ක ට නොව රුපියල් දහසකට පොහොර අලෙවි කළ බව ව්‍යාපාරිකයා පැවසීය.




