පොලිසිය රැගෙන ගිය බුද්ධ ප්‍රතිමාව පොලිසියම තැන්පත් කරයි


(අමදෝරැ අමරජීව)

ත්‍රිකුණාමලය කොටුව පාර් ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරීය බෝධිවර්ධන දහම්පාසල් භූමියේ ස්ථාපිත කර තිබියදී මහා සංඝරත්නයේ විරෝධය මධ්‍යයේ බලහත්කාරයෙන් රැගෙන ගිය බුද්ධ ප්‍රතිමාව පොලිසිය විසින් අද (17) යළි එම ස්ථානයේ ස්ථපිත කිරිමට පොලිසිය කටයුතු කළේය.

පොලිසිය පසුව සියලු පාර්ශ්වවල එකඟතාවය මත එම බුද්ධ ප්‍රතිමාවහන්සේ එම ස්ථානයේම යළි ස්ථාපිත කිරීමට කටයුතු කළේය.

ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ යටතේ ඇති මුහුදු වෙරළට මුහුණපා තිබෙන බෝධිවර්ධන දහම් පාසල් ගොඩනැගිල්ලට මුල් ගලක් තබා තාවකාලිකව ඉදිකළ ස්ථානයක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පෙරේදා (16) පස්වරුවේ තැන්පත් කිරීමට යෑමේදී ඇතිවූ ගැටුමින් විහාරාධිපති ඇතුළු හිමිවරුන් දෙදෙනකු හා ත්‍රිකුණාමලය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇත.

තත්වය පාලනය කිරීමට ත්‍රිකුණාමලය හා කන්තලේ පොලිස් කොට්ඨාස වලින් අමතර පොලිස් බල ඇණි එම ස්ථානයට කැඳවනු ලැබූ අතර කැරලි මර්දන කණ්ඩායමක් හා පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක්ද එම ස්ථානයේ යොදවා ආරක්ෂාව තර කරනු ලැබීය.