පොලිස් අණ නොතකා ගිය රියට වෙඩි


(ඉන්දිකා රාමනායක)

හොරොයින් ජාවාරමේ නිරත සොහොයුරන් දෙදෙනෙකු   පොලිස් අණ නොතකා මෝටර් රථ දෙකකින්  අද  (7) අලුයම  පලා යමින් සිටියදී  කොටදෙණියාව නාල්ල පාළම අසදී  පොලිසිය වෙඩි තබා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් එක් අයකු සතුව තිබී  රුපියල් 1,20,000 ට අධික  හොරොයින්ද පොලිස් බාරයට ගෙන තිබේ.   

මොවුන් දෙදෙනා  සතුව  හොරොයින්  ග්‍රෑම් 13 ක ප්‍රමාණයක් තිබී ඇත.

පොලිසිය සිදුකළ වෙඩි තැබීමෙන්  එක් සැකකරුවෙක් මෝටර් රථය අතරමග නවතා පැනගොස් ඇති අතර, සෙසු සැකකරු  මෝටර් රථය ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

හොරොයින් තොගයක් රැගෙන  කිහිප දෙනකු මොටර් රථ දෙකකින්  කොළඹ 05 මාර්ගය ඔස්සේ කොටදෙණියාව වෙත පැමිණෙන බවට කොටදෙණියාව පොලිසියට ලැබුණු තොරතුරක් මත   පොලිසිය නාල්ල පාළම අසලදී  ක්ෂණික මාර්ග බාධකයක් දමා  එක් රථයක් නැවැත්වීමට උත්සහ කිරීමේ  දී  එහි  රියදුරු  පොලිස් අණ නොතකා පලාගොස් ඇත.

පොලිස් අණ නොතකා අධික වේගයෙන්  පලායමින් සිටි මෝටර් රථයයේ  රෝද වලට පොලිසිය විසින් වෙඩි තබා  ඇති අතර එම වෙඩි ප්‍රහාර හමුවේ පලායන රථය පසුපස පොලිස් නිලධාරීන් ලුහුබැදීමේ දී   සැකකරු මෝටර් රථය   මාර්ගයේ නවතා පලාගොස් ඇති බව පොලිසිය කියයි.

සැකකරු   අතහැර දමා පලාගොස් සිටි මෝටර් රථය නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේ එහි තිබී හෙරොයින් ග්‍රෑම් 6 යි, මිලිග්‍රෑම් 200  ක ප්‍රමාණයක්  තිබී ඇත. නාල්ල පාළම අසල මාර්ග බාධකයේ   පොලිස් නිලධාරීන් සෙසු සැකකටයුතු මෝටර් රථය  නවතා ඇති අතර, එහි සිටි සැකකරු හොරොයින්  ග්‍රෑම් 6 යි මිළිග්‍රෑම්  300 ක් ප්‍රමාණයක්   අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මීරිගම වල්පිට  ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24,29  යන වයස් වල පසුවන   එකම පවුලේ සොහොයුරන් බවද පොලිසිය පවසයි. මොහුන් මීට පෙරද හොරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර   හොරොයින් ජාවාරම  සම්බන්ධයෙන්  අධිකරණ රැසක නඩු විභාග වන බවද පොලිසිය පවසයි. සිද්ධියෙන් පලාගිය සෙසු සැකකරු සොයා කොටදෙණියාව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.