පේදුරුතුඩුවේ නිවෙසකට පැන පස් දෙනෙක් කපලා


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

පේදුරුතුඩුව උතුර අල්වායි මහත්මා වීදියේ පිහිටි නිවසකට    කඩා  වැදුනු සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එහි සිටි අවුරුද්දක් වයසැති දරුවකු, දහනව හැවිරිදි තරුණියක ඇතුළු පස් දෙනකු කඩු වලින් කපා තුවාල සිදුකර ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි.

මෙම තුවාලකරුවන් රැගෙන යෑමට පැමිණි 1990 සුව සැරිය ගිලන් රථයට ද එම පිරිස පහරදී ඇතැයි පේදුරුතුඩුව පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

සුවසැරිය ගිලන් රථයට කඩු පහර දෙකක් වැදී ඇති බව පෙනී යන්නේ යැයි පොලිසිය කියයි.

මෙම කඩු ප්‍රහාරයෙන් ගිලන් රථයේ රියැදුරාට හෝ එහි සිටි සාත්තු සේවකයාට කිසිදු හානියක් සිදුවී නොමැත.

තුවාල ලබා සිටි පස් දෙනා එම ගිලන් රථයෙන්ම පසුව රෝහල් ගත කර ඇත.

තුවාල ලැබූවන් යාපනය ශික්ෂණ රෝහලේ සහ පේදුරුතුඩුව මන්දිගායි රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බව එම නිලධාරියා කීය.