ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර, ආගමන හා විගමන ලේඛන, උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීම ඇතුළු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේදී අද (30) පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.
පුද්ගල තොරතුරු එක් රැස් කිරීම එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතට පත් කිරීම මඟින් කාලය, ශ්‍රමය සහ විශාල මුදල් නාස්තිය අවම කරගැනීමට හැකිවනු ඇති බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදි නිලධාරීන්ට පවසා ඇත.
එකම තොරතුරු ආයතන කිහිපයකින් එක් රැස් කිරීම දැනට භාවිත වන ක්‍රමය බවත් එය එකම පද්ධතියක් යටතට ගැනීමේ ප්‍රමාදය වළක්වා කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීමට හැකිවන බවත් ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී පෙන්වා දී තිබේ. එමඟින් සාවද්‍ය සහ වංචනික තොරතුරු සංසරණය වීම වළක්වා ගත හැකි බව ද ඔහු කීවේය.
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අර්ධ රාජ්‍ය ආයතනවල අන්තර් සබඳතාව රට සංවර්ධනය කිරීමේදී ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ ආයතන ජාලගත කරමින් සම්බන්ධ කිරීමෙන් ඉහළ ඵලදායීතාවක් ළඟා කරගත හැකි බව ද පැවැසීය.
055




