සර්බියාවේ බෙල්ග්‍රේඩ් හි පාසලක 7 වසරේ ඉගෙනුම ලබන සිසුවකු සිදු කළ වෙඩි තැබීමකින් 9 දෙනකු මියගොස් තවත් 7 දෙනකු තුවාල ලබා ඇතැයි සර්බියා පොලිසිය ප්‍රකාශ කර ඇත.
මියගිය 9 දෙනාගෙන් අට දෙනකු එම පාසලේ ඉගෙනුම ලබන සිසුන් බවත් නව වෙනියා එම පාසලේ ආරක්ෂකයකු බවත් සර්බියා පොලිසිය සඳහන් කර තිබේ.
එසේම තුවාල ලැබූ 7 දෙනාගෙන් එක් අයකු එම සිසුවා ඉගෙනුම ලබන පන්තියේ ගුරුවරයකු බවත් අනෙක් 6 දෙනා එම පාසලේ ඉගෙනුම ලබන පාසල් ළමුන් බවත් සර්බියා පොලිසිය පෙන්වා දී ඇත.
මෙම සැකකාර සිසුවා පියාගේ පිස්තෝලයෙන් වෙඩි තැබීම සිදු කර ඇති බවත් ප්‍රථමයෙන් සිය පන්ති භාර ගුරුතුමියට වෙඩි තබා අනතුරුව අහඹු ලෙස පාසලේ ඉගෙනුම ලබන සිසුන්ට වෙඩි තබා ඇතැයි පොලිසිය පවසා තිබේ.
සර්බියා පොලිසිය සිසුවා අත් අඩංගුවට ගෙන ඇති අතර වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

