(සුජිත් හේවාජුලිගේ)
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය නොහොත් පැෆරල් සංවිධානය මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් යෝජනා ලබා ගැනීම සඳහා මැතිවරණ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණය සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට හෙට (14) පස්වරුවේ කැඳවා ඇත.
පැෆරල් සංවිධානය මෙරට මැතිවරණ නිරීක්ෂණය කරනු ලබන ප්‍රධාන සංවිධාන අතර එකකි.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ කාරක සභාව පාර්ලිමේන්තුවේදී හෙට (14)පස්වරුවේ රැස් වීමට නියමිතය .
එහිදී කාරක සභාවේ ආරාධනයෙන් නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා ජනතා ක්‍රියාකාරීත්වයේ (පැෆරල්) නියෝජිතයන් විසින් මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණය සඳහා තම යෝජනා ඉදිරිපත් කෙරෙනු ඇත.
මේ අතර පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ රැස්වීම්වලට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු එම කොමිසමේ නිලධාරීන් කැඳවීමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ යෝජනාවට කාරක සභාවේ අනුමැතිය හිමිව ඇතැයි එහි ලේකම් සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
මෙයට අමතරව කාරක සභාවේ සෑම රැස්වීමකටම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සහභාගී කර ගැනීමට කාරක සභාව තීරණය කර ඇති බවද රෝහණදීර මහත්මිය සඳහන් කළාය.
මේ අතර පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යෝජනා ඉදිරිපත් කිරීම සඳහා දේශපාලන පක්ෂවලට ලබාදී තිබූ කාලය ලබන ජුලි 15 වැනිදායින් අවසන් වන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

