පාර්ලිමේන්තුවේ පිරිතට විපක්ෂයේ පසුපෙළ විරෝධය


 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

රටේ දැඩි ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක අති විශාල මුදලක් වැය කරමින් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වීමට කටයුතු සූදානම් කරමින්  පවතින්නේ  යැයි පැවසෙන   පිරිත් පින්කම වහාම නතර කරන්නැයි විපක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන්  ඉල්ලීමක් කර ඇත.

රටේ ජනතාව පාර්ලිමේන්තුවේ නාස්තිය ගැන  විවේචනාත්මකව කතා කරන අවස්ථාවක මෙවැනි දේවල් සංවිධානය කරමින් මුදල් කාබාසිනියා කිරීමෙන් සිදුවන්නේ  පාර්ලිමේන්තුව ජනතාවගේ වෛරයට තවදුරටත් පාත්‍රවීම පමණක්   බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  චමින්ද විජේසිරි මහතා පැවසීය.

ආගමික කටයුත්තක්වන පිරිතට විරුද්ධත්වයක් නැතත්  මුදල් විශාල වශයෙන් වැය කරමින්  කරන මෙවැනි කටයුතුවලට  තමා විරුද්ධ යැයිද  ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙම පිරිත් පින්කම පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට නියමිතය.

මේ පිරිත් පිංකම සඳහා සහභාගිවීමට  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද  පාර්ලිමේන්තු සේවකයන්  සහ හිටපු සේවකයන් පිරිසකටද  ආරාධනා කර ඇත.

පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් වන අන්දමට මෙම පිරිත සංවිධානය කෙරෙන්නේ පාර්ලිමේන්තුවට රටට ජනතාවට  සෙත් පැතීමේ අරමුණෙනි.

ජනතාව දැඩි පීඩාවක සිටින මොහොතක විශාල මුදලක් වැය කරමින් පිරිත් පින්කම් පැවැත්වීම නතර කළ යුතු යැයි  මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදීද   ඉකුත් 24 වෙනිදා මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගෙන් ඉල්ලීමක් කළේ‍ය.

මේ අතර මේ පිරිත පැවැත්වීම සම්බන්ධයෙන් බොහෝ පාර්ලිමේන්තු සේවකයන්ද  විරුද්ධත්වය පළ කර ඇතැයි දැනගන්නට ඇත.