පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ රිය හරස් කර පහරදුන් තිදෙනකු අත්අඩංගුවට


(සිතුම් චතුරංග)

දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.නෝහාදාරලිංගම් මහතා පැමිණි වෑන් රථයට වවුනියාව , පූවරසකුලම් හතරෙ කණුව ප්‍රදේශයේදී මග හරස්කොට පහරදුන් තරුණයින් තිදෙනකු අද(15) අත්අඩංගුවටගත් බව වවුනියාව පූවරසන්කුලම පොලිසිය කියයි.

මන්නාරම සිට වවුනියාව දක්වා වෑන් රථයකින් පැමිණ ඇති මන්ත්‍රීවරයා පැමිණෙන මග හරස්කොට සිටි පිරිසක් විසින් මෙම පහරදීම සිදුකොට ඇති බවත් එහිදී වෑන් රථයට අලාභහානි සිදුව ඇති බවද පොලිසිය සඳහන් කළේය.

මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරියා විසින් පූවර්සකුලම පොලිසිය වෙත කළ දැණුම්දීමත් සමඟ පොලිස් නිලධාරීන් පැමිණ සිද්ධිය සමථයකටපත්කොට පහරදුන් තිදෙනා අත්අඩංගුවටගත් බව පොලිසි පැවසීය.

පහරදීමට පැමිණෙන පුද්ගලයින් විසුරුවා හැරීම සඳහා ප්‍රභූ ආරක්ෂක නිලධාරියා විසින් අසහට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලකොට ඇති බවත් පැවසීය.දේශපාලන ආරවුලක් මත මෙම පහරදීම සිදුකොට ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවටගත් සැකකරුවන් පූවරසකුලම , සිවපුරම් පදිංචි අවුරුදු 19 ත් , 22 අතර වයසේ පසුවන්නෝ වෙති.සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග නොගෙන සමථයකට පත්කිරීම සඳහා අවශ්‍ය කටයුතු සලසන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.නෝහාදාරලිංගම් මහතා පොලිසියෙන් කළ ඉල්ලීම අනුව සැකකරුවන් පොලිස් ඇපමත මුදාහැර තිබේ. පූවරසන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.