පාඨලී අත්අඩංගුවට ගැනීම නීත්‍යනුකූල බව වැඩබලන පොලිස්පති කොමිසමට දැනුම්දෙයි


(ඉන්දිකා රාමනායක)
 
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම නීත්‍යනුකූල ආකාරයෙන් සිදුව ඇති බව වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවට දැනුම්දුන් බව ජාතික පොලිස් කොමිසම කියයි.
 
ජාතික පොලිස් කොමිසම පසුගිය සිකුරාදා(27) රැස් වූ අවස්ථාවේ පොලිස්පතිවරයා මේ බව කොමිසම හමුවේ වාචිකව දැනුම් දුන් බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා අද(30) ලංකාදීපයට පැවසීය.
 
හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම නියමිත ක්‍රමයට සිදු වී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් පියවර ගන්නැයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ඉකුත් 19 දින ජාතික පොලිස් කොමිසම වෙත යොමුකර තිබූ ලිපියකට අනුව ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබූ බව නිශාන්ත වීරසිංහ මහතා කීය.
 
එම වාර්තාව අනුව වැඩබලන පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසම වෙත පැමිණ ඉකුත් 18 දින රාත්‍රියේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායම විසින් පාඨලී චම්පික මහතා අත්අඩංගුවට ගනු ලැබීම නීත්‍යනුකූල නියමිත ක්‍රමවේදය අනුව කර ඇති බවට දැනුම් දුන් බවද ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා පවසයි.
 
පාඨලී චම්පික මහතා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් ඉදිරියේ දී කථානායක කරූ ජයසූරිය මහතා දැනුවත් කිරීමට නියමිතව ඇත.