ප්‍රා.ලේ කොට්ඨාස 67ක 52,734කට හැඳුනුම්පත් නෑ


(තරිදු ජයවර්ධන)

 

ජාතික හැඳුනුම්පත් නොමැති වයස අවුරුදු 18 වැඩි පුරවැසියන් ගැන දත්ත පද්තිධයක් පවත්වාගෙන යන ලෙසත්, ඔවුන්ට ජාතික හැඳුනුම්පත් ලබා දීමට පියවර ගන්නා ලෙසත් ස්වදේශ කටයුතු අමාත්‍යංශය දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

 

ස්වදේශ කටයුතු අමාත්‍යංශය එලෙස දැනුම් දී ඇත්තේ ඒෆ්‍රියල් තරුණ ජාලය මගින් ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට තොරතුරු ඉල්ලීම් යොමු කර වයස අවුරුදු 18 වැඩි ජාතික හැඳුනුම්පත් නොමැති පුරවැසියන් සම්බන්ධයෙන් ලබා ගත් තොරතුරු අනුව එම ආයතනය සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු සංවිධාන කිහිපයක්  අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමිනි. 

 

ඒෆ්‍රියල් තරුණ ජාලය යොමු කළ තොරතුරු ඉල්ලුම්පත්වලට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331න්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල 67කින් විස්තර ලබා දී ඇත. එම තොරතුරු අනුව අදාල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය 67හි වයස අවුරුදු 18 වැඩි ජාතික හැඳුනුම්පත් නොමැති පුරවැසියන් සංඛ්‍යාව  52,734කි.  

 

මෙම නිල තොරතුරු සහ ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් නිල නොවන ලෙස ලබා ගත් තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශවල අවුරුදු 18ට වැඩි ලක්ෂ පහකට ආසන්න පුරවැසියන්ට ජාතික හැඳුනුම්පත නොමැති බවට තක්සේරු කරන බව තොරතුරු ඉල්ලීම යොමු කළ ඒෆ්‍රියල් තරුණ ජාලයේ නියෝජිතයෙක් පැවසීය.

 

තොරතුරු ලබා දී ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතුරින් ජාතික හැඳුනුම්පත් නොමැති අවුරුදු 18ට වැඩි වැඩිම පිරිසක් සිටිනුයේ යාපනය දිස්ත්‍රික්කයේ වලිකාමම් සන්දිලිප්පායි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේය. එම සංඛ්‍යාව 2440 දෙනකි. 

 

කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ 1929 දෙනකුටත්, කැලණිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ 1746 දෙනකුටත්, නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ 1555 දෙනකුටත්, බිංගිරිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ 1706 දෙනකුටත්, පඬුවස්නුවර හෙට්ටිපොල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ 1404 දෙනකුටත්  ජාතික හැඳුනුම්පත් නොමැති බව තොරතුරු පනත අනුව ලබාගත් තොරතුරුවලින් හෙළිවී තිබේ.

 

තොරතුරු ලබා නොදුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 264න් ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුම් දී ඇත්තේ ජාතික හැඳුනුම්පත් නොමැති පුරවැසියන් සම්බන්ධයෙන් දත්ත පත්දතියක් නඩත්තු නොකරන බවයි. 

 

ජාතික හැඳුනුම්පත් නොමැති පුරවැසියන්ට කඩිනමින් ජාතික හැඳුනුම්පත් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම තොරතුරු පාදක කර ගනිමින් ඒෆ්‍රියල් තරුණ ජාලය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තරුණ නීතීඥයෝ සංවිධානය සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තරුණයෝ සංවිධානය එක්ව ස්වදේශ කටයුතු අමාත්‍යංශය ඇතුළු ආයතන කිහිපයකට ලිපියක් යොමු කර තිබේ. 

 

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ මැතිවරණ කොමිෂන් සභාව එම ලිපිය යොමු කළ අනිකුත් ආයතන වේ. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම්දෙමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පසුගිය සිකුරාදා (10) එම ලිපිය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යොමු කර තිබේ.

 

මේ සම්බන්ධයෙක් අවධානය යොමු කරන ලෙස දැනුම් දෙමින් ස්වදේශ කටයුතු අමාත්‍යංශය දිසාපතිවරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට යොමු කළ ලිපිය සැලකිල්ලට ගෙන මේ වන විට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ජාතික හැඳුනුම්පත් නොමැති පුරවැසියන්ට හැඳුනුම්පත් ලබා දීම සඳහා ක්‍රමවේදයක් සකස් කරගෙන යන බව ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක් විසින් දැනුම් දී ඇත.

 

විශේෂයෙන් ගාල්ල දිසාපතිවරයා තම බල ප්‍රදේශයේ ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දැනුම් දී ඇත්තේ හැඳුනුම්පත් නොමැති පුරවැසියන් සම්බන්ධයෙන් දත්ත පද්ධතියක් නඩත්තු කරගෙන යෑමට කටයුතු කරන ලෙසයි. 

 

අවුරුදු 18 වැඩි ජාතික හැඳුනුම්පත නොමැති පුරවැසියන්ට එය ලබා දීම සඳහා ජංගම සේවා පවත්වන්නේ නම් ඊට සහයෝගය දිය හැකි බව ද එම සංවිධාන හතර ස්වදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දී තිබේ.