ප්‍රහාර ගැන සෙවූ කමිටුවේ අතුරු වාර්තාව නීතිපතිට


(අජන්ත කුමාර අගලකඩ)

ඉකුත් පාස්කු ඉරිදා එල්ල වූ  ත්‍රස්ථවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ අතුරු වාර්තාව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නීතිපතිවරයා වෙත යවනු ලැබ ඇත.

ජනාධිපතිවරයා පෙරේදා (02) එම වාර්තාව නීතිපතිවරයාට යවා ඇත.

ඉකුත් 21 වැනිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගිය 22 වැනිදා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත්  මලල්ගොඩ ,හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් සහ හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරු එහි සාමාජිකයෝ වෙති.

කමිටුව අතුරුවාර්තාවක් ජනාධිපතිවරයා වෙත ඉකුත් 1 වැනිදා බාරදී ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් එම අතුරු වාර්තාව පෙරේදා (02) නීතිපතිවරයා වෙත යවනු ලැබීය.

කමිටුවේ සම්පූර්ණ වාර්තාව තවත් දින 5 කින් හෝ 6 කින් ජනාධිපතිවරයා වෙත බාරදීමට නියමිතය.

මේ අතර ඉකුත් 21 වැනිදා එල්ල වූ ප්‍රහාරය පුද්ගලයින් දෙදෙනෙකුගේ වගකීම පැහැර හැරීම නිසා ඇති වූවක් බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයාත්,පොලිස්පතිවරයාටත් ඊට වගකිව යුතු බවත් ජනාධිපතිවරයා විදේශ මාධ්‍යවලට පවසා තිබිණි.