පර්දාව-අබායට විරෝධය පා පුත්තලම ප්‍රා.ලේකම් නිලධරයෝ ලෙඩ නිවාඩු දමති


හිරාන් ප්‍රියංකර ජයසිංහ 
 
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරීවල නිරතවන නිලධාරින් පිරිසක්  අද (13) සේවයට වාර්තා නොකර ලෙඩ නිවාඩු දැමීමෙන් කාර්යාල කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී තිබේ.

මුස්ලිම් ජාතික කාන්තාවන් විසින් පළදින පර්දාව සහ අබාය ඇදිම තුළින් ආයතනය තුළ යම් ගැටළු මතුව ඇති බව පවසමින් එය ඉවත්කර සේවයට පැමිණෙන ලෙසට ඉල්ලීම් කරමින් අන් නිලධාරීන් පිරිසක් සේවයට වාර්තා නොකර ලෙඩ නිවාඩු දැමිමට කටයුතු කර තිබිණි.

පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන මුස්ලිම් නිලධාරිනියන්ට කාර්යාලය තුළදී පර්දාව සහ අබාය හැද රාජකාරිවල නිරත නොවන ලෙසට කල් තියා දැනුම් දී තිබිණි. 

නමුත් ඔවුන් දිගින් දිගටම එම ඇඳුම එලෙසම භාවිතා කිරීමට විරෝධය දක්වමින් මෙසේ ලෙඩ නිවාඩු දැමිමට කටයුතු කළ බව ඔවුහු පවසති.
 
මේ හේතුවෙන් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම කටයුතු සම්පුර්ණයෙන්ම අඩාල වී තිබු අතර මුස්ලිම් නිලධාරින් හා නිලධාරිනියන් පිරිස පමණක් සේවයට පැමිණ සිටි ආකාරය දැක ගත හැකි විය.

මේ පිළිබඳව පුත්තලම ප්‍රාදේශීය ලේකම් සංජීවනී හේරත් මහත්මියගෙන් කළ විමසිමේදී මෙසේ කීවාය.

‘පර්දාව සහ අබාය රාජකාරි වේලාවේදී පළදින්න එපා කියලා අනෙක් නිලධාරීන් දන්වා තිබෙනවා. මම මේ පාර්ශව දෙකම සමඟ කථා කළා. නමුත් දෙපිරිසම එකඟතාවයකට එන්න සුදානම් නැහැ. නිලධාරීන් ලෙස අපි තමා මේ නිසා ගැටළුවකට ලක්වෙන්නේ.’