නොරොච්චෝලේ පටන්ගන්න දින තුන හතරක් ගතවෙයි


(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පානදුර ග්‍රිඩ් උපපොලේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් රටපුරා විදුලි බිඳ වැටීම නිසා අක්‍රීය වූ නොරොච්චෝලේ ගල්අගුරු විදුලිබලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුන නැවත ක්‍රියාත්මක කිරීමට දින තුනක් හෝ හතරක් ගතවනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ පවසති.

විදුලි සැපයුම විසන්දිවීමත් සමඟ නොරොච්චෝලේ විදුලිබලාගාරයේ විදුලි ජනන යන්ත්‍රවල ආරක්‍ෂක පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් එම යන්ත්‍ර අක්‍රීය වන බවත් එම යන්ත්‍ර නැවත ක්‍රියාත්මක කිරීමට දීන කීපයක්ගත වන බවත් ඉංජිනේරුවෝ සඳහන් කළහ.

නොරොච්චෝලේ ගල්අගුරු විදුලිබලාගාරය ඉදිකරන අවස්ථාවේදී එම ජනන යන්ත්‍ර පද්ධතිය මෙවැනි අවස්ථාවකට පත්වූ විට සිසිල් කරන ආකාරය පිළිබඳව කටයුතු නොකිරීම මෙයට හේතුව බවත් පසුගිය වසර කීපය තුළ මේ ආකාරයට සමස්ත රටටම විදුලිය විසන්දි වුවද එම එකම අවස්ථාවකදී හෝ නිෂ්චිත පියවරක් නොගත් බවත් ඔවුහු කියති.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයකින් දිනකට මෙගාවොට් 270 ක පමණ විදුලි ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට එකතු කළ හැකි බවත් එම විදුලිබලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කළ හොත් දිනකට මෙගාවොට් 800 අධික ප්‍රමාණයක් ජාතික පද්ධතියට එකතු කළ හැකි බවත් ඉංජිනේරුවෝ වැඩි දුරටත් සඳහන් කළහ.

මෙම යන්ත්‍ර නැවත ක්‍රියාත්මක කරන තෙක් විදුලි සැපයුම පවත්වාගෙන යෑම සඳහා තාප විදුලිය මේ වන විට ජාතික පද්ධතියට සම්බන්ධ කර ඇති අතර එය තව දුරටත් පවත්වාගෙන යෑම පිළිබඳව බලශක්ති අමාත්‍යංශය සහ විදුලිබල මණ්ඩලය සාකච්ඡා කරමින් සිටියේය.  

තාප විදුලිය පද්ධතියට සම්බන්ධ නොකරන්නේ නම් විදුලි කප්පාදුවකට යෑමට සිදුන බවත් විදුලි කප්පාදුවකට යෑමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.