(රෝෂන් තුෂාර)
ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි නීතිඥ ලිලන්තී් ද සිල්වා මහත්මිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (17) ප්‍රතික්ෂේප කළේය.
දිසා විනිසුරුවරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ පැමිණිල්ලට බැලූ බැල්මට ජය ගත හැකි නඩුවක් ඉදිරිපත් කර නොමැති බවය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හෙට (19) දින පැවැත්වීමට නියමිත නිලවරණය වළක්වන්නැයි කළ ඉල්ලීම මෙසේ ප්‍රතික්‍ෂේප කෙරිණි.
සභාපති ධූරයට තරඟ වදින නීතිඥ රජීව් අමරසූරිය , නීතිඥ ආචාර්ය සුනිල් අභයරත්න මහත්වරුන් ,නීතිඥ සංගමයේ මැතිවරණ තේරීම් භාර නිලධාරී ඇතුළු නිලධාරින් දොළොස් දෙනකුට එරෙහිව මෙම පැමිණිල්ල ගොනුකොට තිබිණි.
පැමිණිලිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ සභාපති ධුරයට නාම යෝජනා භාර දුන් ජනාධිපති නීතිඥ මැද්දෙගොඩ මහතා තරඟයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ඉතිරි වූ අපේක්ෂකයින් දෙදෙනාගෙන් පමණක් මැතිවරණය පැවැත්වීම ව්‍යවස්ථා විරෝධී බවය. ඒ අනුව යළිත් නාම යෝජනා කඳවා මැතිවරණය පවත්වන ලෙසට නියෝග කරන ලෙසට ඉල්ලා සිටියේය. නාම යෝජනා ඉල්ලා අස්කර ගැනීම අපේක්ෂකයෙකු මියයාමකට සමාන බවත් අපේක්ෂකයෙකු මිය ගිය පසුව යළිත් නාම යෝජනා කැදවීම ව්‍යවස්ථානුකූල බවත් පෙන්වා දුන් නීතිඥවරයා යළි නාම යෝජනා කැඳවන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා සිටියේය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ජනාධිපති නීතිඥ ඉක්‍රාම් මොහොමඩ්,ජනාධිපති නීතිඥ සාලිය පීරිස්,නීතිඥ තිෂ්‍ය වේර ගොඩ හා නීතිඥ ගුණරත්න වන්නිනායක මහත්වරුන් කරුණු දක්වමින් නීතීඥ සංගමය නිලවරණය පැවැත්වීම නිත්‍යානුකූල බවත් අනුර මැද්දගොඩ මහතා කැමැත්තෙන් තරඟයෙන් ඉවත් වී ඇති බවත් සඳහන් කළේය.එම ඉවත්වීම මිය යෑමකට සමාන කළ නොහැකි බවද සඳහන් කළේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ අනුර මැද්දගොඩ මහතා තරඟයෙන් ඉවත් වීම පිළිබඳව දින නමයකට පෙර සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කර ඇති බවය. ඒ අනුව පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට දින නවයක් ප්‍රමාද වී ඇති බවද පෙන්වා දුන්නේය. නිලවරණය පැවැත්වීම සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි බවක් අධිකරණයට පෙනී නොයන බව සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව පැමිණිල්ලේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.
පැමිණිල්ලේ විරෝධතා ඇත්නම් මාර්තු 3වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළේය.