නිරෝධායන නිවෙසකින් මස් රැගෙන ගිය හෝටල් හිමියා නිරෝධායනයට


(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

තිත්තවැල්ගාල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින් සිටින බවට හදුනාගෙන ඇති නිවසකින් කුකුල් මස් තොගයක් රැගෙන ගිය කුඹුක්ගැටේ නෙලුම්වැව ප්‍රදේශයේ හෝටල් හිමියකු සහ තවත් සිව්දෙනකු දින 14 ක් නිරෝධායනයට යොමුකල බව ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය කියයි.

නිරෝධායන කාලසීමාවෙන් පසුව අදාල හෝටල් හිමියාට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවත් කිලෝ ග්‍රෑම් 25 ක් පමණ වන මස් තොගය මුද්‍රා තැබූ බවත් කුඹුක්ගැටේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සිසිර බණ්ඩාර බස්නායක මහතා පැවසීය.

අදාල මස් තොගය රැගෙන ගොස් ඇත්තේ හෝටලයේ පැවැත්වීමට නියමිතව ඇති විවාහ මංගල උත්සවයක් සදහා බවට සැකකෙරේ. පසුගිය 24 වන දින දහවල් හෝටල් හිමියා ත්‍රිරෝද රථයකින් හුදෙකලා කළ ප්‍රදේශයට පැමිණ ඇති අතර ත්‍රිරෝද රථයේ යම් දෙයක් රැගෙන යනු දුටු රැකවලේ යෙදීසිටි පොලිස් කාන්තාවක් රථය නවත්වන ලෙස දන්වා සිටියත් එම අණ නොතකා රථය ධාවනය කර ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක බස්නායක මහතාට පොලිසිය විසින් දැනුම් දීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් අදාල නිවසේ පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කිරීමේදී මස් රැගෙන ගිය හෝටල් හිමියා සම්බන්ධව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ.

පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අදාල හෝටලයට ගොස් පරීක්ෂා කිරීමේදී මස් තොගය සොයාගෙන ඇත.