නැගෙනහිර ටිමෝරය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබදතා ඇරඹිමට පියවර


( තිළිණි ද සිල්වා )

නැගෙනහිර ටිමෝරය හෙවත් ටිමෝර් – ලෙස්ටේ රාජ්‍යය සමග විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමට රජයේ අවධානය යොමුව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

මේ වනවිට නැගෙනහිර ටිමෝරය ශ්‍රී ලංකාව සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා විධිමත් ලෙස තහවුරු කර ගැනීම සඳහා කැමැත්ත ප්‍රකාශ කර ඇති හෙයින් මෙම සබදතා ඇති කර ගැනීමට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් .පීරිස් මහතාගේද දඩි අවධානය යොමුව ඇති බවද එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලකංදීපයට පැවසීය.

තවද ඉන්දියාව, චීනය, ජපානය, දකුණු කොරියාව ඇතුළු ආසියානු රටවල් ගණනාවක් මේ වනවිටත් එරට සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගා ගෙන ඇති බවද එම නිලධාරියා පන්වා දුන්නේය.

නැගෙනහිර ටිමෝරය ශ්‍රී ලංකාව සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා විධිමත් ලෙස ඇරඹීම සඳහා  විදේශ අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට  කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇති බවත් , එම යෝජනාවට ඉකුත් සතියේ රැස්වූ  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇතැයි හෙතෙම කියා සිටියේය.

තව ද නැගෙනහිර ටිමෝරය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම ආර්ථිකමය හා දේශපාලන වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වේදිකාවල ශ්‍රී ලංකාවේ මැදිහත්වීම්වලදී එරට සහය ලබා ගැනීම සඳහා වැදගත්වනු ඇතැයි විදේශ අමාත්‍යවරයා සිය කැබිනට් පත්‍රිකාවන් අමාත්‍ය මණ්ඩලය වෙත පෙන්වා දී ඇත.