(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මස්කෙළිය-නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය මෝහිනි ඇල්ල අසළ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සංවර්ධන කටයුතු කරන ස්ථානයේ අද(07) නායයාමක් සිදුව ඇතැයි නල්ලතන්නිය පොලිසිය පවසයි. මෝහිනි ඇල්ලට ඉහළින් පිහිටි විශාල පස් කන්දක් හා ගල් ප්‍රධාන මාර්ගයට කඩා වැටීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇත.
මේ හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී වාහන ධාවනයට බාධා පැමිණ තිබිණි. නල්ලතන්නිය සිට මස්කෙළිය බලා ධාවනය කරන රථ වාහන හා මස්කෙළිය සිට නල්ලතන්නියට ධාවනය කරන වාහන ලක්ෂපාන වතුයායේ කෙටි මාර්ගයක් ඔස්සේ තාවකාලිකව ධාවනය කරන ලෙස නල්ලතන්නිය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
මාර්ග සංවර්ධන අධිකාරියේ කැටපිලර් යන්ත්‍ර යොදවා ගනිමින් සහ පස් කඳු ඉවත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදුවන බව නල්ලතන්නිය පොලිසිය පවසයි.



