(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

යෝජිත ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සඳහා සකස් කර ඇති කෙටුම්පත සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර අදාළ සියලු පාර්ශ්වයන් සමඟ පුළුල් සාකච්ඡාවක් පැවැත්විය යුතු බව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරිණි.

එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ සභාපතීත්වයෙන් 07 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව අවධාරණය කෙරිණි.

ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ සාමාජිකයින් පැවසුවේ ජාතික බලශක්ති ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සඳහා කෙටුම්පතක් සකස් කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් මහජනතාවගේ සහ අදාළ පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත්ය.

පිරිවැය-ඵලදායී මිල ගණන් යටතේ කාර්යක්ෂම විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා මෙම ප්‍රතිපත්ති සකස් කර ඇති බව ද ඔවුහු සඳහන් කළහ.

මෙම ප්‍රතිපත්ති සකස් කිරීමේ කටයුතු පුළුල් සාකච්ඡාවලින් අනතුරුව සිදු කළ යුතු බව ප්‍රකාශ කළ කාරක සභා සභාපතිවරයා, පෞද්ගලික අංශය ඇතුළු විදුලිබල ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශ්වයන්ගේ අදහස් සලකා බැලීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.