නායකයන් වට කරගන්නා වන්දිභට්ටයන්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

නායකයන් වට කරගන්නා වන්දිභට්ටයන්, ප්‍රශස්තිකරුවන් සහ  ආවතේවකරුවන්  ලෙස කටයුතු කරන  ඇතැම්  නිලධාරීන්  අපනයන සංවර්ධන සභාව කැඳවීමට ඉඩ දෙන්නේ නැතැයි  වෙළෙඳ අමාත්‍ය  ආචාර්ය   බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය.

අපනයන සංවර්ධන සභාව අපනයන ප්‍රශ්න විසඳන ප්‍රධාන ආයතනය බවද හෙතෙම සඳහන් කළේ‍ය.

වෙළෙඳ ඇමැතිවරයා  මෙසේ පැවසූවේ වෙළෙඳ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා   අවස්ථාවේ විවාදයේදීය.

අපනයන සංවර්ධන සභාව  තමාගේ දැනුම්දීම අනුව  ජනාධිපතිවරයා එකම දිනයක් පමණක්  කැඳවූ බව බව පැවසූ ගුණවර්ධන මහතා එම සභාව එසේ කැඳවනු ලැබුවේ  වසර 26 කට පසුව බවද ප්‍රකාශ කළේය.

එදිනෙන් පසු වෙන කිසිම දිනක  එම සභාව  නොකැඳවුණු බවත් මෙතන ඇති  තේරුම් ගත යුතු ප්‍රශ්නය එය බවත්  ඔහු  සඳහන් කළේය.

අපනයන සංවර්ධන  සභාව කැඳවන්නේ නම් අපනයන පිළිබඳ සියලු ප්‍රශ්න  එකම ස්ථානයකදී විසඳිය හැකි බව ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.

මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ  නොදකින සහ  ඉහළින් සිටින සිටින අදෘශ්‍යමාන  කිසියම් සීමිත  පිරිසක්  සමස්ත දේශපාලන නායකත්වය සහ පාර්ලිමේන්තුව හසුරවන බව ඔහු  සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා හෝ මුදල් ඇමැතිවරයා නොවන්නට  මේ රටේ තාක්ෂණ විෂය ධාරාව ඇරඹීමට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ඉඩ නොදෙන බව  බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.