
(යොහාන් භාසුර)
නාථගනේ ස්තූපය හා පුරාවිද්‍යාත්මක නටබුන් සහිත ප්‍රදේශයේ කැනීම් කටයුතු මේ වන විට අවසන් බවත් මෙම පුරාවිද්‍යාත්මක ස්ථානය ඉදිරි පරම්පරාවන් වෙත දායාද කිරීමට ආරක්ෂා කරන ලෙස ජනතාවගෙන් ද ඉල්ලා සිටින බවත් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
වෙසක් උළෙලට සමගාමීව මෙම පුරාවිද්‍යාත්මක ස්ථාන ජනතාව වෙත වැඳුම් පිඳුම් කිරීමට කඩිනමින් කැණීම් කටයුතු අවසන් කළ බව ද අමාත්‍යවරයා කීය.
නාථගනේ ස්තූප පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට පැමිණි අමාත්‍යවරයා එසේ පැවසීය.
කුරුණැගල සිට පුත්තලම් ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර පමණ දුර ගමන් කර හමුවන මහකෙළිය මංසන්දියෙන් වමට හැරී කිලෝමීටර දෙකක් පමණ ගමන් කළ විට වල්පොල හමුවන අතර වල්පොලින් වමට හැරී කිලෝමීටරයක් පමණ ගමන් කළ පසු නාථගනේ පුරාණ විහාරය ආශ්‍රිත නටබුන් පරිශ්‍රයට ලඟා විය හැකිය.
ජනප්‍රවාදයට අනුව නාථගනේ කන්ද ආශ්‍රිතව පිහිටා ඇත්තේ මුණ්ඩකොණ්ඩපොල රාජධානියයි.
එසේම මෙම ශේෂ කන්ද ආශ්‍රිතව කටාරම් සහිත ගල්ගුහා රාශියක් සහ මෙම ගුහා ආශ්‍රිතව අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් මූල බ්‍රාහ්මීය ලිපි හතරක් ද සොයාගෙන තිබේ.
කන්ද පාමුල අනුරාධපුර යුගයේ අවසාන භාගයට අයත් ගඩොළුමය ස්තූපයක්, පොකුණක් සහ ගල් කණු සහිත ගඩොළුමය ස්මාර්කයන්හි නෂ්ටාවශේෂයන් දක්නට ලැබෙන අතර මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මෙම පුරාවිද්‍යා පරිශ්‍රයේ ඇති ස්තූපය කැනීම් කර සංරක්ෂණය කෙරිණි.
අමාත්‍යවරයාගේ නිරීක්‍ෂණ චාරිකාවට ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමීණි රණසිංහ යන මහත්වරු ද සහභාගි වූහ.


