
(බන්ධුල ඉලේපෙරුම)
නව වසරේ පළමු වරට පාර්ලිමේන්තුව අද(05) රැස්වීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ සියලු දෙපාර්තමේන්තු සහ කාර්යාල විවෘතව පවතින බවත් මාධ්‍යවේදීන්ට සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන් යටතේ පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීමට පහසුකම් සම්පාදනය කර ඇති බවත් මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් අහඹු ලෙස තෝරා ගත් අයවලුන් සඳහා පී සී ආර් පරීක්ෂණ ගණනාවක් පසුගිය කාලය පුරාම සිදු කළ අතර ඒ අතරින් කිසිදු කොවිඩ් 19 ආසාදිතයෙකු වාර්තා නොවූ බවත් මහ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි ජනවාරි(08) වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස් වන අතර මෙතෙක් හිස්ව පැවැති අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් නම්කළ අතුරලියේ රතන හිමියන් අද 9වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට නියමිතය.
ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් 2004 දී කළුතර දිස්ත්‍රික්කයෙන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ රතන හිමියෝ 2010 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 07 වැනි පාර්ලිමේන්තුව සඳහා තේරි පත්වූහ. 2015 වසරේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙකු ලෙස 08 වන පාර්ලිමේන්තුවද නියෝජනය කල රතන හිමි මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සිව්වැනි වරටයි.

