නව පනත පැරදවීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බව දයාසිරි කියයි


(ඩයනා උදයංගනී)

වත්මන් රජය විසින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට ගෙනඒමට යන නව පනත පැරදවීම සඳහා පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදීත් සටන් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මෙම නව පනත තුළින් රජය උත්සාහ ගන්නේ ත‍්‍රස්තවාදී කටයුතු මැඩලීමට නොව වෘත්තීය සමිති හා මාධ්‍ය මර්දනය කිරීමට බව පෙනී යන්නේ යැයි දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් ශක්තිමත් කළ යුත්තේ රටේ ආරක්‍ෂාව වෙනුවෙන් බව කී මන්ත‍්‍රීවරයා වත්මන් රජය එම පනත ශක්තිමත් කරන බව කියමින් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කිරීමට සැරසෙන බව ද කීවේය.

එබැවින් එයට එරෙහිව ගතයුතු සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කටයුතු කරන බව ද මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි)