ධීවර සංස්ථාවට වැලි කණින යන්ත්‍රයක්


(අංජුල මහික වීරරත්න)

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සඳහා ඩ්‍රෙජරයක් මිල දී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට අදාළ අත්‍යවශ්‍ය නඩත්තු හා සංවර්ධන කටයුතු සඳහා ඩ්‍රෙජරයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබ ඇති පිරිවැය - ප්‍රතිලාභ විශ්ලේෂණයක් සිදු කරනු ලැබ ඇත.

එම සංස්ථාව විසින් වාර්ෂිකව ඝණ මීටර 183,000 ක් පමණ වැලි කැණීම් සිදු කළ යුතුව ඇති අතර, ඒ සඳහා පෞද්ගලික අංශය වෙතින් අදාළ සේවාවන් ලබා ගැනීමේදී රුපියල් මිලියන 500ක පමණ පිරිවැයක් දැරීමට සිදු වන බැවින් එම සංස්ථාව සඳහා ඩ්‍රෙජරයක් මිලදී ගැනීම දිගු කාලීනව ආර්ථීකමය වශයෙන් ඵලදායී බව තහවුරු වී ඇත. 

එසේම, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කලපු සංරක්ෂණ හා කළමනාකරණ වැඩසටහන යටතේ ආරුගම්බේ, නන්දිකඩාල්, නයාරු, ලංකා පටුන වැනි කලපු වල සිදු කිරීමට නියමිත කැණීම් කටයුතු සඳහා ද එලෙස මිල දී ගනු ලබන ඩ්‍රෙජරය යොදා ගැනීමට හැකියාව පවතී. ඒ අනුව, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සඳහා ඩ්‍රෙජරයක් මිල දී ගැනීම පිණිස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.