දේශීය නිපැයුම් නැව් ගත කිරීම අරඹයි


(යොහාන් භාසුර)

හම්බන්තොට වරාය දේශීය නිපැයුම් නැව්ගත කිරීම ආරම්භ කරමින් ශ්‍රී ලාංකික සමාගමක් වන ඩච් ලංකා ටේ්‍රලර්ස් සමාගම නිෂ්පාදනය කළ  ටේ්‍රලර්ස් යන්ත්‍ර  10 ක් පසුගියදා හම්බන්තොට වරායෙන් නැව්ගත කළේය.

හම්බන්තොට වරාය දොරටු වරායක් බවට පත්වෙමින් දේශීය නිෂ්පාදන නැව්ගත කිරීම දේශීය නිෂ්පාදකයින්ට විදේශ වෙළඳපල වෙත ළඟා වීමට හොඳ අවස්ථාවක් බවට පත්ව තිබේ.

ඩච් ලංකා ටේ්‍රලර්ස් සමාගම බහාලුම් නැව්  හරහා ටේ්‍රලර් යන්ත්‍ර නැව්ගත කළ ද මෙවර හම්බන්තොට වරායට පැමිණි ‘හෙස්ටියා ලීඩර්’ නැමැති රෝරෝ යාත්‍රාවක් යොදාගත් අතර එම ටේ්‍රලර් යන්ත්‍ර රැගත් රෝරෝ යාත්‍රාව කැරිබියන් දූපත් බලා පිටත් විය.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය, දකුණු අභ්‍යන්තරයේ දොරටුව ලෙස හම්බන්තොට වරායේ  ස්ථානය තහවුරු කිරීමට කටයුතු කරන බවත් විශාල කර්මාන්ත ප්‍රමාණයක් එකට ඒකාබද්ධ වීම සහ සුමට සැපයුම්දාමයක් වර්ධනය වීමත් සමඟ දේශීය අපනයන වෙළඳාමට ලාභදායී සැපයුම් විසඳුමක් හඳුන්වාදීම ඉලක්කය බවත් හම්බන්තොට වරාය පරිපාලනය පවසයි.